දේශීය

“තවමත් පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි වෙලා නෑ”

ආගමික පාලක නායකයෝ කියති

පුද්ගල ජීවිත 250 ට වැඩි ගණන් රටට අහිමි කරමින් වසරකට ඉහතදී සිදුවු පාස්කු බෝම්බ පිපිරවීම ගැන සැකපිට දෙසීයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබියදී ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන තෙක් පැහැදිලි තොරතුරක් නොමැති බවට ශ්‍රී ලංකාවේ ඉහලම බෞද්ධ නායකත්වය චෝදනා කර තිබේ.

නැවත වරක් පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් සිදු නොවීම පිණිස ඊට හවුල් වූවන්ට නිසි දඬුවම් ලබාදිය යුතු නමුත් ප්‍රහාරයට වසරක් ගතව තිබුණද ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු අද දක්වාම දැන ගන්නට නොහැකි වීම බලවත් වේදනාවට හේතුවක් බවයි අස්ගිරි හා මල්වතු පාර්ශව නාහිමියන් මහනුවරදී මාධ්‍යවේදීන් සමඟ පවසා තිබෙන්නේ.

පාස්කු ඉරුදින සිදුවු අවාසනාවන්ත ප්‍රහාරයට වසරක් සපිරෙන අප්‍රේල් 21 දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන්ද සඳහන් කර තිබුනේ ප්‍රහාරය සිදු වී අවුරුද්දක් ගෙවී තිබුනත් එම ප්‍රහාරය පිටුපස සිටියේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් සත්‍ය තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

කෙසේවෙතත් තමන් ඒ ගැන දන්නා බවක් දක්වමින් කාදිනල් වරයා කියා සිටි පරිදි ප්‍රහාරය පිටුපස බොහෝ පිරිසක් සිටින අතර එය ජාලයක ස්වරූපයක් ගනී.

ප්‍රහාරය පිටුපස සිටින්නා වු පිරිස කවුරුන්දැයි සොයා බැලිය යුතු අතර ඔවුන්ගේ තරාතිරම, ඉහළ සමාජ තත්වය, දේශපාලන බල පුළුවම්කාරකම් ගණන් ගත යුතු නැති බවද කාදිනල් තුමන් එහිදී සදහන් කර තිබුණි.

2019 වසරේ පාස්කු දින සිදුවීමේ පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ගැන ද විභාග කර ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුණි.

දිවයිනේ ඉහලම ආගමික නායකයන් පාස්කු ප්‍රහාර අනුස්මරණය කරමින් එම ප්‍රකාශ සිදු කළේ, මේවන විට දෙසීයකට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශයට පත් කර තිබියදීය.

ඒ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසින්ද කරනු ලබන බව පැවසේ.

පාස්කු ප්‍රහාරය හෙලා දකින ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකත්වය ප්‍රචණ්ඩතාවට එරෙහිව සැවොම සමග එක්වන බවට ප්‍රතිඥා දී තිබේ.

“මේ අන්තරාය දුරු කර මේ රටට අත්‍යාවශ්‍ය වී තිබෙන සාමය උදා කරලීම සඳහා දරණ සෑම උත්සාහයක් සමගම එක්වීමට මුස්ලිම් ප්‍රජාව වෙනදා සේම අදත් සැදී පැහැදී සිටියි…”

යනුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් මණ්ඩලය පාස්කු ප්‍රහාරයේ වර්ෂ පූර්ණය වෙනුවෙන් එහි සභාපති එන් එම් අමීන් ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.


ඡායා රූපය – ලහිරු හර්ශණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button