විශේෂාංග

බොරු වඳ සැත්කම් චෝදනාවෙන් පසු මහාචාර්‍ය චන්න ජයසුමන හා හේමන්ත රන්දුනුට සිදුවන්නේ කුමක්ද?

ජාතිවාදී පච වැපිරීමේ ප්‍රමුඛයා වන “දිවයින” පුවත්පතේ හේමන්ත රණ්දුනු නම් තක්කඩියා සහ රජරට වෛද්‍ය පීඨයේ ජාතිවාදී “මහාචාර්‍ය” චන්න ජයසුමනට විරුද්ධව හරිනම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තමන්ගේ කාලකණ්නි, ජාතිවාදී දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව සාෆි නම් එක් මිනිසෙකු අපහසුතාවයට පත්කළ නිසා පමණක් නොවේ. දැනටමත් කර මුලටම ඇවිලී තිබෙන රටක් තුළ එවැනි සැකයක් ඇති වුවද ඒ පිළිබඳ විධිමත්ව කටයුතු කර, චෝදනා ඔප්පු කර, ඒ ගිනි නිවීමට අදාළව කටයුතු කරනවා වෙනුවට තමන් උපයාගෙන ඇති හා සමාජයෙන් තමන්ට ලබා දී ඇති සියළු වටිනාකම් අවභාවිතා කර ජාතිවාදය වපුරමින්, සිවිල් යුධ තත්වයක් පවා ඇතිකළ හැකිමට්ටමේ භයානක ක්‍රියාවක් සිදුකිරීම නිසාවෙනි. පැලෝපීය නාල ගැනත්, වඳ භාවයට පත්වීම ගැනත් ඉතිහාස කතා, රස කතා, පුරාවෘත්ත හා කුණුහරුප පමණක් දැන සිටින ජාතියක් තමන්ගේ වෘත්තිකභාවය භාවිතා කරමින් නොමඟ යැවීමට හා කුපිත කිරීමට උත්සාහ කිරීම නිසාවෙනි.

මොවුන් මෙසේ සිදුකළ පළමු හා එකම අවස්ථාවද මෙය නොවේ. දිවයින ගැන උදාහරණ අවශ්‍ය නැත. ඕනෑනම් අද දිවයින පුවත්පත කියවන්න. ඔබට උදාහරණ ඕනෑතරම් සොයාගත හැකිවනු ඇත.

නමුත් ජයසුමන මහාචාරියා ගැන යමක් කිව යුතුව තිබේ. අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරයෙක් වන ජයසුමන පළමුවෙන්ම සිදුකළ වගකීම එම පීඨයේ ඉගෙනුම ලබන මුස්ලිම් ජාතික සිසුසිසුවියන් හා ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ගෙන්වා තිබෙන තත්වය තුළ, වහාම ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් සිසුවියන්ගේ හිස් ආවරණ (හිජාබ්) ඉවත්කළ යුතු බව දැනුම් දීමයි. (මෙය ජනප්‍රිය මාතෘකාවක් බැවින් නැවත් පැහැදිලි කරන්නේ මේ සඳහන් කරන්නේ මුහුණු ආවරණය නොකරන, හිස පමණක් ආවරණය කරන ඇඳුම් පිළිබඳවයි. ) කෙසේ නමුත් මහාචාර්‍ය ජයසුමනගේ එම තීරණය මා දන්නා තරමින් ඉදිරියට ක්‍රියාත්මක වී තිබුණේ නැත. මාද කලෙක වෛද්‍ය පීඨයක ශිෂ්‍ය සංගමයක සභාපති ධූරය හොබවා තිබේ. මෙවැනි රෝගී ආචාර්‍යවරු අප පීඨයේ නොසිටියමුත්, යන්තමින් හෝ සිදුවන අනවශ්‍ය මැදිහත්වීම් වලදී අප කටයුතු කළ ආකාරය මතක ඇති නිසාම ඉහත අවස්ථාවේ රජරට වෛද්‍යා පීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ ප්‍රතිචාරය හා ක්‍රියාමාර්ගද සවිස්තරාත්මකව දැන ගැනීමට කැමැත්තෙමි. එය අමතර කරුණකි.

චන්න ජයසුමන යනු එවන් පුද්ගලයෙකි. ඔහුගේ අධ්‍යාපන මට්ටම මහාචාර්‍යද, ඩබල් ඩොක්ටර්ද යන්න අපිට අදාළම නැත. ඊට වඩා වෛද්‍ය විද්‍යාව තුළ දැවැන්ත සොයා ගැනීම් කළ දැවැන්තයින් නාසි ජර්මනියේ වෛද්‍යවරුන් ලෙස එදා කටයුතු කළහ. අවුට්විෂ්ට්ස් ඇතුළු යුදෙවු රැඳවුම් කඳවුරු තුළ පවුල් පිටින් වැඩිහිටියන්, කුඩා දරුවන් කපාකොටා පරීක්ෂණ කළ අතිශය උගත් වෛද්‍යවරුන් අපටවත්, අනෙක් සමාජයටවත් කිසිදිනෙක වීරයින් වන්නේ නැත. ඔවුන් වෛද්‍ය වෘත්තියටත්, මානව ඉතිහාසයටත් කලු පැල්ලමක් පමණක් තැබූ මානව විරෝධී දුෂ්ඨයින් හා ම්ලේචයින් රොත්තක් පමණි.

ඉතින් ඒ තරම් නැතත්, ජාතිවාදී විෂ පතුරුවන, නොදන්නා නාරි හා ප්‍රසවවේදයක් දේශනා කරමින් තමන් තුළ ඇති හුදු මුස්ලිම් විරෝධී ජාතිවාදය රටකට ඔබ්බවන්න උත්සාහ කළ මහාචාරී ජයසුමන පිළිබඳවත් හරිනම් අවම තරමින් විධිමත් පරීක්ෂණයක් හෝ ආරම්භ කළ යුතුය. ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ හා ෆේස්බුක් පෝස්ට් වලින් ඒ සඳහා සාක්ෂි ඕනෑ තරම් සොයාගත හැකිය. එමෙන්ම වගකීමක් ඇති වෛද්‍යවරු විසින් මේ බොරුකාර ජාතිවාදියා පිළිබඳව හෙළිදරව් කළ යුතුය. එමඟින් අවම තරමින් ඉදිරියේදී මෙවැනි පටු මානසිකත්වයක් සහිත උගත් මෝඩයන් මීට වඩා වගකීමෙන් කටයුතු කරන තැනකට තල්ලු කරගැනීමට උත්සාහයක් දැරිය හැකිය.

එමෙන්ම වෛද්‍ය සාෆි පිළිබඳ නාටකය තිරරචනය කළ හේමන්ත රන්දුනු ඇතුළු පත්තර පඩංගු හා ජයසුමන පන්නයේ තක්කඩි වෙද්දුත්, නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ රතන, වීරවංශ හා කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය පොහොට්ටු බත්බැලයිනුත්, රැල්ලට යාම නිසා හෝ රාජපක්ෂ බලයට පත්කිරීමේ ශුද්ධ වූ මෙහෙයුමේ සිටින සිය අසහාය නායකයාගේ ලණු කෑම නිසාවෙන් සහය අධ්‍යක්ෂණයක් කළ අසරණ ප්‍රාදේශීය GMOA ක්‍රියාකාරීනුත් අමතක නොකර ආදරයෙන් සිහිපත් කළ යුතය. එමෙන්ම ගෙවීම් නොකරම නිෂ්පාදකයන් විසින් අන්දවා, පොහොට්ටුවේ ප්‍රාදේශීය නිෂ්පාදක කණ්ඩායම් විසින් ගෙයින් ගෙට ගොස් දායකත්වය ලබා ගත් සිසේරියන් සැත්කමෙන් පසු කකුල් රිදුණු, බඩ රිදුනු, වමනය ගිය හා විවිධ පැමිණිලි සහිත අම්මලාට මේ කුමන තත්වය මැද වුවත් අපගේ කණගාටුව ප්‍රකාශ කරමු. ඔවුන් සාෆි මෙන්ම මෙම නීච ක්‍රියාවලියේ වින්දිතයන් ය.

සමාජයේ කොටසක විශ්වාසයන්ට හානි වනසේ හා හිත් රිදෙනසේ කෙටි කතාවක් ලිව්වාය යන චෝදනාව යටතේ ශක්තික මාස කිහිපයක් තිස්සේ හිරේ සිටින රටක හේමන්ත රන්දුනුලා චන්න ජයසුමනලා සම්බන්දයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි අපි අවධානයෙන් බලා සිටිමු ද? නැත. අපි එසේ බලා සිටින්නේ නැත. ඒ ජයසුමනලා රනදුනුලා තාර්කික නිසා නොවේ. “සිංහල බෞද්ධ” රාජ්‍යයකින් එසේ වනවා යැයි සිතීමට අපිට පිස්සු නැති නිසාය.

නමුත් අඩුම වශයෙන් රන්දුනු සම්බන්දයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු ප්‍රගතිශීලී මාධ්‍යවේදී හිතවතුන්ද, මහාචාර්‍ය ජයසුමන සම්බන්දයෙන් රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, වෛද්‍ය පීඨ ආචාර්‍යවරුන්ගේ සංගම් ආදිය මේ සම්බන්දයෙන් සුළු වශයෙන් හෝ නිවැරදිව දිශාගත වූ සාකච්චාවක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු. අන්න ඒ අප යන්තමින් හෝ බලාපොරොත්තු තබන ලැයිස්තුවේ මුලටම රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය එන දවසක්ද උදා වේවායි ප්‍රාර්ථනා කරමු.


නජිත් ඉන්දික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button