වැදි බණ දෙසන සඟ ගණ මැද, බුදු දහම දෙසූ යතිවරයාණෝ
1907 දී මාතර වල්පොල හිදී උපත ලද වල්පොල ශ්‍රී රාහුල හිමියන් මෙරට බිහි වූ සමාජය විනිවිද දුටු මහා ප්‍රාඥයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු දහම නිසියාකාරව හඳුනාගත් සැබෑ බුද්ධ පුත්‍රයෙකු ලෙසද නොබියව අප පවසන්නෙමු. මෙරට ඉතිහාසය තුල බෞද්ධ හිමි නමකට පරිත්‍යාග කල ඉහලම ශාස්ත්‍රීය තනතුර හෙබවූයේ උන් වහන්සේය. 1964 දී ඇමෙරිකාවේ ඉලනොයිස් ප්‍රාන්තයේ පිහිටි Northwestern University හි ඉතිහාසය හා ආගම සම්බන්ද ජේෂ්ඨ මහාචාර්ය ධුරය උන් වහන්සේ විසින් හොබවන ලදී. එමෙන්ම පසුකලෙක විද්‍යෝදය සරසවියේ (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ) උපකුලපති ධුරයද දරන ලද්දේ වල්පොල රාහුල හිමියන් විසිනි. බෞද්ධ දර්ශනය බටහිර ලෝකයට ප්‍රචලිත කිරීම වෙනුවෙන් උන් වහන්සේ ඉංග්‍රීසි මෙන්ම ප්‍රංශ භාෂාවද උපයෝගී කරගන්නා ලදී. එම භාෂා ද්විත්වය පිළිබඳව හසල දැනුමක් ශ්‍රී රාහුල හිමියන් සතුව තිබුණි. තමන්ගේ දැනුම හා ප්‍රඥාව සමස්ත ලෝකවාසීන් වෙනුවෙන් පරිත්‍යාග කල සැබෑ හිමිනමක් ලෙස අවිවාදයෙන් උන් වහන්සේ හැඳින් විය හැක. රාහුල හිමියන් විසින් රචිත ථෙරවාද බුදු සාමය පිළිබඳව ලිවූ What the Buddha Taught කෘතිය විශ්ව කීර්තියට පත් විය. ශ්‍රී ලංකාව තුලද ආගමේ නාමයෙන් පතුරුවා හරින මිත්‍යාවටද, බුදු දහම අලෙවි කරන චීවරධාරී වෙළෙන්දන් හටද ඉතාමත් පැහැදිලි වචනෙයන් ඇමතීමටද උන් වහන්සේ පසුබට නොවීය. මේ ගෙන එන්නේ 1968 දී ආගමික සහජීවනය වෙනුවෙන් පැවති එක්තරා රැස්වීමකදී වල්පොල රාහුල හිමියන් විසින් පවත්වනු ලැබූ දේශනයේ සංක්ෂිප්ත සටහනකි.
“විවිධ නම් යටතේ මානව වර්ගයා බෙදීම ආගම් වලින් කෙරෙන්නෙක්…. මානව වර්ගයා එක්කල හැකි එකම සාධකය වන්නේ මනුෂ්‍යත්වයට පමණයි…. ජාතිය, ආගම, හා මානුෂිය ලෙස සංස්කෘතිය තෙවදෑරුම් ලෙස බෙදේ. මින් වඩාත්ම වැදගත් වන්නේ මානුෂිය සංස්කෘතියයි. සමාජය භේද කරන දේශපාලන බෙදීම් ඊට අදාළ නෑ…. බුද්ධ ධර්මයට අනුව සියල්ල අනිත්‍යයි, කාලයාගේ වියෝවත් සමගම සංස්කෘතියද වෙනස් වෙනවා, එසේ වෙනස්ව යන සංස්කෘතියක් වෙනස් වීමට ඉඩ නොදී රැකගැනීමේ පලක් නෑ….
මනුෂ්‍ය ඝාතන හා ලේ වැගිරීම් මගින් ආගම පැතිරවීම බුදුදහමට අනුව නොපිළිගත් සාධකයක්. බුදු දහම ආසියාවේ ජාත්‍යන්තර සාධකයක් වන්නේ අන්න ඒ නිසයි. අන් ආගම්වල නැති බෞද්ධ සංස්කෘතියේ ඇති විශේෂ ගුණාංගය එයයි. මෛත්‍රීය පදනම් කරගත් බුදුන්ගේ ඉගැන්වීමේ මුලික අදහසද එයයි. එනම් සියලු භේද නොතකා මානව වර්ගයාට මෛත්‍රී කිරීමයි.
මගේ ආගම, මගේ ජාතිය, මගේ භාෂාව, මගේ රට ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා. එහෙත් බුදුන්ගේ ඉගැන්වීම් අනුව සියලුම බැඳීම් වැරදියි. විශ්ව සාධාරණ සංස්කෘතියට බාධා කරන නිසා ධර්මයට බැඳීමද (ධම්ම තන්හා) බුදු දහමෙන් බැහැර කල දෙයක්. මිනිසාගේ නිදහස් චින්තනයට කිසිම බාධාවක් නොතිබිය යුතුයි.
ආගම යම් අයෙකුට උරුමවන්නේ උප්පත්තියෙන් නිසා කිසිවෙකු සිතාමතාම ආගම තෝරාගැනීමක් හෝ බලකිරීමක් සිද්ධ වෙන්නේ නෑ. එබඳු සම්මත බැඳීම් වලට බුදු දහමේ කිසිදු ඉඩකඩක් නෑ. මෙය මෛත්‍රීය පිරුණු දර්ශනයක්.
යම් භාෂාවකට බැඳීමද සමාජ ප්‍රගමනයට බාදාවක් මිස වෙන කවරක්ද ? ජාතිකවාදයත් එහෙම තමයි බුදුන්ගේ ඉගැන්වීම් නිසි පරිදි අධ්‍යනය කළහොත් මානව සංස්කෘතිය තිබිය යුත්තේ ලොවේ ඉහලම තලයකයි. බුද්ධ දර්ශනයේ පදනම් වන්නේ මුළු මිනිස් වර්ගයාටම මෛත්‍රී කිරීමයි.”
රසල් CP බණ්ඩාරවත්ත