මා ඉදිරියේ සිටිනුයේ ප්‍රධාන පෙළේ වංචාකරුවකු ලෙස සමාජය විසින් හංවඩු ගැසූ ඔහුය, තවත් සමහරු ඔහුව කට්ට කෛරාටිකයකු ලෙසත් කම්බ හොරකු ලෙසත් හඳුන්වනු ලබයි.
මෙම සොර දෙටුවා සොයා මා කොටිකාවත්ත ප්‍රදේශයට පිටත්ව ගියේ ඡායාරූප ශිල්පි කැලුම් චාමරද සමඟය.
කොටිකාවත්ත ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් අප අතුරු මාර්ගයකට ප්‍රවිෂ්ට වී මඳ දුරක් යත්ම අත්දිග කමිසයකින් සහ කළු දිග කලිසමකින් පිළිවෙළකට සැරසී සිටි අයකු මුණගැසිණි.
රැවුලද බා සිටි ඔහු අප අසලට පැමිණියේය.
“මම සක්විති රණසිංහ” මේ පාරේ තමයි මම නැවතිලා ඉන්න ගේ තියෙන්නේ”
ඔහුගේ ආරාධනයෙන් අපි එම නිවෙසට ගොඩවූවෙමු. එය කුඩා නිවෙසකි. තවමත් එම නිවෙසෙහි වැඩකටයුතු අවසන් වී නොමැත.
ඔහු අපට අසුන් පනවා තිබුණේ කුඩා මැද සාලයේය.
“මේ ගෙදර තමයි මම නැවතිලා ඉන්නේ, මේක මගේ චූටි අක්කාගේ ගේ.”
සක්විති සමූහ ව්‍යාපාරය යටතේ පවත්වාගෙන ගිය “සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්” නමැති මූල්‍ය සමාගම හරහා මහජනතාවගෙන් තැන්පතු වශයෙන් ලබා ගත් රුපියල් කෝටි 162කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව ඇතුළුව නඩු තුනක් සම්බන්ධයෙන් වසර නවයකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිට ඇපමත නිදහස්ව පැමිණි සක්විති රණසිංහ මෙලෙස හඬ අවදි කළේය.
නීතිඥ රවීන්ද්‍ර සෙනරත් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප ඉල්ලීමකට අනුව ඉකුත් 10 වැනිදා මෙලෙස ඇප මත ඔහු නිදහස් වී පැමිණ සිටියේය.
තම සේවාදායකයා අධික කාලයක සිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන හෙයින් ඇප ලබා දෙන ලෙසට නීතිඥවරයා සිදු කළ ඉල්ලීමකට අනුව තැන්පතු මුදල් රැස් කොට ඒවා සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ විසිපහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත කොළඹ මහාධිකරණය මෙලෙස ඇප නියම කළේය.
ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් පතක් අනවසරයෙන් භාවිත කිරීමේ චෝදනාවට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ විසි පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත සක්විති රණසිංහට කොළඹ මහාධිකරණයෙන් මෙලෙස ඇප නියම කෙරිණි.
මේ වන විට හතළිස් හය හැවිරිදි වියෙහි පසුවන සක්විති රණසිංහගේ උප්පැන්නයේ නම සඳහන් වන්නේ “අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර” ලෙසටය.
වර්ෂ 1972 දෙසැම්බර් 24 වැනි දින එච්.ටී.ඩී. චන්ද්‍රලතා සහ ඒ.ආර්.එම්. සීලරත්නට දාව වීරකුමාර උපත ලැබුවේය.
පෙදරේරු රස්සාවේ නියැළෙමින් වීරකුමාරගේ පියා පවුලේ දරුවන් පස්දෙනකු පෝෂණය කළේය.
වැඩිමහල් සහෝදරයකු ඇතුළු සහෝදරියන් තිදෙනෙකු වීරකුමාරට සිටි අතර අද වන විට ජීවතුන් අතර සිටින්නේ සහෝදරියන් තිදෙනකු පමණය.
දරුවන් පස් දෙනා උස් මහත් කිරීමට පෙදරේරුවරයකු වූ සිය ස්වාමියාට හැකියාවක් නොමැති වූ හෙයින් වීරකුමාරගේ මව බොරැල්ල සහ කිරිබත්ගොඩ පොළවල හඳුන්කූරු විකිණීමේ කටයුත්තක නිරත වූවාය.
ඇයගේ හඳුන්කූරු වෙළෙදාම පවුලේ ආර්ථිකයට යම්තාක් දුරකට ශක්තියක් විය.
කුඩා චන්දන වීරකුමාර බත්තරමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 142 ලබා ගත් වීරකුමාර බොරැල්ල ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුළත් වූයේය.
D සාමාර්ථ හයක් සහ B සාමාර්ථ දෙකක් ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වූ වීරකුමාර ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ පන්තිවලට ඇතුළත් වූවේය.
ඉගෙනීමට අති දක්ෂයකු වුවද වීරකුමාරට උසස් පෙළ විභාගයට වාඩි වීම සඳහා වාසනාව හිමි නොවිණි.
“ආර්ථික දුෂ්කරතා නිසා මට අධ්‍යාපනය අත්හරින්න සිද්ධ වුණා මං මධ්‍යම පාන්තික පවුලක ඉපදුණු කෙනෙක් නෙවෙයි. මට පහළ මධ්‍යම පාන්තික අයකු කිව්වත් එය බර වචනයක් කියලා මට හිතෙනවා. ඊටත් වඩා කියනවා නම් මම දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක්” ඒ හඬ සක්විතිගේය.
කළ වරදට වසර නවයක කාලයක් සිරගතව සිට ඇප මත නිදහස්ව පැමිණි දෙවැනි දිනම පෙරවරුවේ ලියුම්කරුට මුණගැසුණු සක්විති අතීතාවර්ජනයක නියැළුණේය.
එහිදී ඔහු ප්‍රථමව ආවර්ජනය කළේ අද වන විට රෝද පුටුවකට වී සිටින සිය මෑණියන් ගැනය.
“බන්ධනාගාරගත වෙලා සිටිය වසර නවයක කාලයේ අම්මා තමයි මාව බලන්න වැලිකඩට ආවේ. අම්මාට චූටි අක්කත් සහාය දුන්නා. චූටි අක්කා සහෝදර ප්‍රේමයෙන් මං ගැන හොයලා බැලුවා. අම්මා බන්ධනාගාරයට එද්දී මටයි මගේ යාළුවන්ටයි කදමලු බැඳගෙන කෑම අරන් එනවා. ඒ නිසාම මගේ යාළුවොත් අපේ අම්මා හොඳට දන්නවා. බන්ධනාගාරයේ හිටපු අවුරුදු නවයක කාලයේ මම මානසිකව වැටෙන්නේ නැතිව හිටියේ අම්මා නිසා කිව්වොත් නිවැරදියි”
“අධිකරණයෙන් ඇප ලැබුණු දාත් අම්මා මාව බලන්න රෝද පුටුවෙන් මහාධිකරණයට ඇවිල්ලා සිටියා. අම්මා නැවතිලා ඉන්නේ කොළොන්නාවේ. මීට මාස නවයකට කලින් අම්මාව ත්‍රීවීල් එකක හැප්පුණා. ඒ නිසා දැන් අම්මාගේ ගමන බිමන රෝද පුටුවෙන්.”
ඇය හැත්තෑ හතර හැවිරිදි වියෙහි සක්විතිගේ පියාද අංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී. ඔහුද දැන් වයෝවෘද්ධය.
සක්විති සිය සහෝදරියන් ගැන පවසන්නේ මෙලෙසිනි.
“ඔවුන් සාමාන්‍ය ජීවිත ගත කරන මධ්‍යම පාන්තික අය. ඒ අයට ලොකු හැකියාවක් තිබුණේ නැහැ මට උදවු කරන්න. මං එයාලගෙන් උදවු උපකාර බලාපොරොත්තු වුණෙත් නැහැ. මං එයාලට ලොකුවට උදවු කරලාත් නැහැ.”
ඉංග්‍රීසි භාෂාව සරලව ඉගැන්වීමට උපන් හපනකු වූ සක්විති රණසිංහ පසුව මෙරට නමගිය ඉංග්‍රීසි ගුරුවරයකු බවට පත්විය.
සිසුන්ගේ සිතට කාවදින ආකාරයේ ඉගැන්වීම් ශෛලියක් හෙබි සක්විති සිය අධ්‍යාපන ක්‍රම සඳහා නව තාක්ෂණයද යොදා ගත්තේය.
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා කැසට් පටයක් ප්‍රථමව ශිෂ්‍යයන් අතට ලබා දුන්නේද සක්විති විසින්ය. අනතුරුව එය සී.ඩී. කට්ටලයක් දක්වා වර්ධනය කිරීමට සක්විති සමත් විය.
“මම උසස් පෙළ විභාගයට වාඩි වුණේ නැහැ. පාසලෙන් ඉවත් වුණු කාලෙම මම ටියුෂන් පන්ති පටන් ගත්තා. මම මුලින්ම ඉගැන්නුවේ ගණිතයයි, විද්‍යාවයි. මාලබේ ප්‍රදේශයේ මම මුලින්ම පන්ති කළේ.”
එවිට සක්විතිගේ වයස අවුරුදු 18කි. මෙම තරුණ ගුරුවරයා පසුව ඉංග්‍රීසි විෂය ඉගැන්වීමට අවතීර්ණ වූයේය.
“ඉංග්‍රීසි ඉගැන්වීම ගැන සිසුන් අතර මට වැඩි ඉල්ලුමක් තිබුණා. ඊට පස්සේ මම ලංකාව පුරාම ඉංග්‍රීසි පන්ති පටන් ගත්තා. මම ‘සක්විති’ කියන නමත් පසුව හදා ගත්තේ ඉංග්‍රීසි පන්ති වෙනුවෙන්මයි. පසුව මම සක්විති රණසිංහ නමින් මෙරට ජනප්‍රිය වුණා” ඉංග්‍රීසි පන්තිවල ආරම්භය ගැන සක්විති එලෙස පවසන්නේය.
“පසුව මම බම්බලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වුණා. මම එම ආයතනයේ ව්‍යාපාර සන්නිවේදන කථිකාචාර්යවරයකු ලෙස වසර තුනක කාලයක් කටයුතු කළා.”
“මගේ අධ්‍යාපන සුදුසුකම්වලට වඩා ඔවුන් බැලුවේ මගේ ඉගැන්වීමේ හැකියාව ගැනයි. අදටත් මම උගන්නපු සිසුන් නීති ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල රාජකාරි කරනවා. මට උසාවිවලදිත් මගේ ගෝලයන් හමුවෙලා තියෙනවා.”
අප කතානායකයාගේ ආදර කතාවද ගෙතෙන්නේ ටියුෂන් පන්තියක් කේන්ද්‍ර කර ගනිමිනි.
කුමාරි අනුරාධිනී වන ඇය සක්විති රණසිංහ ගුරුවරයාගෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා වැල්ලම්පිටියේ, විමලාරාමයේ පැවැති පන්තියට සහභාගි වූවාය.
විසි හතර හැවිරිදි ඉළන්දාරියකු වූ සක්විති හට අනුරාධනී නම් ශිෂ්‍යාව කෙරෙහි ආදර සිතක් පහළ විය.
ඒ වනවිටත් ඇය දහස වැනි වසරෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යාවක වූවාය. එය 1999 වර්ෂයයි.
සක්විතිගේ සහ අනුරාධනීගේ ආදර සම්බන්ධතාව කෙතරම් දුරදිග ගියේද කිවහොත් එම වසරේදීම ඔවුන් දෙදෙනා විවාහ වූහ.
“ඇය මාත් සමඟම අත්අඩංගුවට පත් වුණා. ඇයත් වසර දෙකක් පමණ බන්ධනාගාරගතව සිටියේ ඇය දැන් මගෙන් වෙන්වෙලා ඉන්නේ.” සක්විති රණසිංහ මොහොතකට නිහඬ වූයේය.
කඳුළු මැද නැවත සිය කතාව ආරම්භ කෙරුණේ තමාගේ දියණිය සහ පුතු ගැන විස්තර පවසමිනි.
‘’මාව අත්අඩංගුවට පත්වන විට දුවට අවුරුදු අටයි. පුතාට අවුරුදු දහයයි.”
මේ වනවිට සක්විතිගේ පුතු දකුණු කොරියාවේ ඉන්ජිනේරු තාක්ෂණය පිළිබඳව උපාධියක් හදාරන අතර ඔහුගේ දියණිය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරයි. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඇය ජීවත් වන්නේ සක්විතිගේ බිරිය සමඟය.
මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සක්විති හට තවත් නඩුවක් ගොනු කරනු ලැබුවේ ඔහු ඔහුගේ බිරිය අඩු වයසින් විවාහ කර ගැනීමට අදාළවය. එහිදී ඔහුට අත්හිටුවූ සිරදඬුවම් නියම විය.
සක්විතිගේ ජීවිතේ කෝටිපති සුපිරි අවධියක් ආරම්භ වන්නේ වර්ෂ 2003දී පමණය. ඒ ඔහු ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමඟය.
“මම සක්විති සමූහ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ටියුෂන් ක්ෂේත්‍රයේ වසර දහයක පමණ අත්දැකීම් නිමාවීමෙන් පසුවයි. මම ලංකාව පුරා සිටි ලක්ෂ දෙකකට වැඩි පිරිසකට උගන්වලා තිබුණේ. මගේ ඉංග්‍රීසි අධ්‍යාපන CDකට්ටලය ලක්ෂ පහකට වැඩි පිරිසක් මිලදී ගෙන තියෙනවා. එම එක් කට්ටලයක් මම රුපියල් 3,500කට අලෙවි කළේ. එහි අලෙවි සේවකයන් පන්සියයක් පමණ මගේ යටතේ වැඩ කළා.CD තැටි අලෙවියෙන් පමණක් දවසට රුපියල් ලක්ෂ දෙකත් _ හතරත් අතර ආදායමක් ලැබුවා. මගේ වැඩිම සිසුන් පිරිසක් සහභාගි වුණු පන්තිය තිබුණේ නුගේගොඩ රොටරි ආයතනයේ. එහි සිසුන් දහසකට වැඩිය හිටියා. ඒ කාලේ මම එක් සිසුවකුගෙන් රුපියල් 300ක මුදලක් අය කළා. රට වටේ මම පන්ති පැවැත්තුවා. ටියුෂන් පන්තිවලින් විතරක් මට රුපියල් ලක්ෂ 15-20ත් අතර ආදායමක් ලැබුණා. සක්විති සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයේ වැටුප ලක්ෂ දහයක් වුණා. මට මාසිකව සියලු ව්‍යාපාරවලින් රුපියල් ලක්ෂ අසූවක පමණ මුදලක් ලැබුණා.”
එකල සක්විති රණසිංහ නම් ප්‍රකෝටිපතියා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ දෙකක, ලෑන්ඩ් කෘෘසර් වර්ගයේ රථයක සහ ටියුෂන් පන්තිවලට සහභාගි වීම සඳහා වෙනම නිසාන් එක්ස්ට්‍රේල් වර්ගයේ ජීප් රථයක හිමිකරුවෙකි.
මීට අමතරව ඔහු ඔහුගේ බිරියගේ ගමන් පහසුව සඳහා මෝටර් රථයක් ලබා දී තිබූ අතර සක්විති සමූහ ව්‍යාපාරය යටතේද වාහන රැසක් පැවැතුණේය.
දුගී පැලක ඉපදුණු සක්විති පසුව නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ දෙමහල් මන්දිරයක්ද ඉදිකළේය.
නුගේගොඩ නාවල පාරේ කුලී ගොඩනැඟිල්ලක සක්විති සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගියද නුගේගොඩ පාගොඩ පාරේ වෙනම ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා සක්විති එකල රුපියල් කෝටි ගණනක ඉඩමක්ද මිලදී ගැනීමට කටයුතු කළේය.
“මට සල්ලි තියෙන කාලේ සෑහෙන්න මිත්‍රයෝ හිටියා. පාටියක් දැම්මම දෙසීයක් විතර පාටියට සහභාගි වෙනවා. හදවත දෙන්න වගේ හිටිය යාළුවෝ එක්කෙනෙක්වත් බන්ධනාගාරගත වුණාට පස්සේ මාව බලන්න ආවේ නැහැ. එක යාළුවෙක් මට කෑම වේලක් බන්ධනාගාරයට ගෙනත් දුන්නේ නැහැ.” මිත්‍ර සංග්‍රහය ගැන සක්විති එලෙස පැවැසුවේය.
මුළු රටේම නම දිනා සිටි මේ ප්‍රකෝටිපතියා කෙසෙල් කඳක් බිම පෙරළෙන්නා සේ කඩා වැටීම ගැන ඔහුගේ හ¾ඩින්ම මෙලෙස පවසන්නට පටන් ගත්තේය.
“2008 වර්ෂය වන විට සක්විති සමූහ ව්‍යාපාරය කඩා වැටීමකට ගොදුරු වුණා. මම ණය ගන්න පෙලඹුණා. ඒ මගේ ව්‍යාපාර කටයුතු සඳහා. ඒ ණය ගැනීමේදී මම ලොකු පොලියක් දෙන්න ආයෝජකයන්ට පොරොන්දු වුණා. කවුරු මොනවා හිතුවත් මට හැකියාවක් තිබුණා මගේ අධ්‍යාපනික සීඩී පැකේජයෙන් ලැබෙන මුදලින් ඔවුන්ට ලොකු පොලියක් ගෙවන්න. මම මගේ ආයෝජකයන්ට පළමු මාස දෙකේදී සියයට හයක් සහ ඊළඟ මාස දෙකේ සියයට හතරක් ලෙස පොලී ගෙවන්න පොරොන්දු වුණා. 2003 වසරේදීම මම මෙලෙස ණය ලබා ගත්තා.
මම සීඩී තැටි ගහන්න පෙලඹුණේ චීනයෙන්. මගේ ඉංග්‍රීසි පාඩම් ඊට ඇතුළත් කරලා මම අලෙවි කළා. ඊට අමතරව නිවාස ඉදිකිරීමේ අංශයේ කටයුතු ආරම්භ කළා. ඒත් ඒ ව්‍යාපෘතිය සිතුව විධියට ඉහළට ගන්න අපිට බැරි වුණා. මගේ තාත්තා තමයි නිවාස ඉදිකිරීම් අංශය භාරව කටයුතු කළේ.
ඉතිං මම වංචාවක් කරන්න අදහස් කළා නම් මං ඒ වැඩවලට මගේ තාත්තාව සම්බන්ධ කර ගන්නේ නැහැ. මං වංචාවක් කරන්න හිතුවා නම් මගේ බිරියව මගේ සමාගමේ අධ්‍යක්ෂිකාවක් විධියට පත්කර ගන්නේ නැහැ.
පසුව ඇති වුණු බිඳ වැටීමේදී ගත්තු ණයවලට මට පොලී ගෙවා ගන්න බැරි වුණා. කෝටි 162ක මුදලක් තමයි මගේ නඩුව හැටියට තියෙන්නේ. ඇත්තටම මීටත් වඩා මුදලක්, එනම් කෝටි 900ක මුදල් ප්‍රමාණයක් තමයි නඩුවේ සම්පූර්ණ ප්‍රමාණය. ඉන් කෝටි 700ක් වගේ මම මිනිස්සුන්ට ගෙවලා තියෙනවා. මුදල් සහ පොලී වශයෙන්.
පුද්ගලයන් තුන්දහසක් විතර ආයෝජකයන් වශයෙන් සිටියා. පස්සේ තමයි මට තේරුණේ පොලී ගෙව්වා වැඩියි කියලා.
පොලී ගෙවාගෙන යද්දී මම එක තැනකදී හිර වුණා. විශාල පිරිසක් නැවත මුදල් ඉල්ලන්න පෙලඹුණා. ඔවුන් මුදල් එකවර ඉල්ලීම නිසා මට මුදල් ගෙවාගෙන යන්න බැරි වුණා. මම ඔවුන්ගෙන් කල් ඉල්ලුවා. ඔවුන්ගෙන් නැවත නැවත කල් ලබා ගැනීමට බැරි බව මට හැඟුණා. පොලී මුදල් ගෙවන්නත් විශාල මුදලක් තිබුණා. මෙතැනදී තමයි මට බයක් දැනුණේ. මට වැටහුණා මේක තවදුරටත් මට කරගෙන යන්න බැහැ කියලා”.
ඉන් ඉක්බිති තමා සැඟ වී සිටීමට තීරණය කළ බව සක්විති රණසිංහ පැවැසුවේය.
රටේ ප්‍රධාන පෙළේ චරිතද සක්විතිගේ ආයෝජකයන් විය. ඊට අමතරව දුක් මහන්සියෙන් මුදල් හම්බ කරගත් මිනිස්සුද මේ අතර සිටියහ.
මෙලෙස මහා මූල්‍ය වංචාවක් සිදු කළ සක්විති මෙම ප්‍රශ්නයෙන් පලා යෑම සඳහා තෝරා ගන්නේ අපේ අසල්වාසී රට ඉන්දියාවය.
සිය බිරිය සහ දරු දෙදෙනා කැටුව සක්විති 2008 වසරේ අගෝස්තු මස 20 වැනි දින ඉන්දියාවේ මුම්බායි නගරයට පලා ගියේය.
“සමහරු කිව්වා ඒ කාලේ මම ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඉන්දියාවට පැනලා ගියේ කියලා. ඒත් මට ඒ වෙනකොට ලොකු ප්‍රශ්නයක් රට තුළ ඇතිවෙලා තිබුණේ නැහැ. ඒ නිසා මම කටුනායක ගුවන්තොටුපළෙන් ඉන්දියාවට ගියේ මගේ ගුවන් ගමන් බලපත්‍රයෙන්. මේ වන විට මම ආර්ථික වශයෙන් සෑහෙන්න වැටිලා හිටියේ. ලක්ෂ හැටක මුදලක් මම ඉන්දියාවට අරගෙන ගියා ඒ රටේ ජීවත්වෙන්න සිතාගෙන. ඒත් මුම්බායි නගරයේ ජීවත් වෙන්න අමාරුයි. වියදම වැඩියි. මම මගේ දරු දෙන්නාව මුම්බායි වල පාසලකට පවා යැව්වා. ඔවුන්ට අදටත් හොඳට හින්දි පුළුවන්”.
තමා සන්තකයේ තිබූ මුදලින් මුම්බායි නගරයෙන් කුලී නිවෙසක් මිලට ගත් බවත් ඉන් අනතුරුව තම පවුලට ජීවත් වීමට තිබූ සියලු මුදල් අහවර වූ බවත් සක්විති පැවැසුවේය.
“මම ඊට පස්සේ මාස කිහිපයක් හින්දි භාෂාව ඉගෙන ගත්තා. ඊට පස්සේ මම මගේ සුපුරුදු රස්සාව ඉන්දියාවේ පටන් ගත්තා. මම හින්දි භාෂාවෙන් ඉංග්‍රීසි ඉගැන්නුවා. අන්ද්‍රා නගරයේ තමයි මම පන්ති පැවැත්තුවේ. මම අත්පත්‍රිකා බෙදලා පන්තිවල ප්‍රචාරණ කටයුතුත් කළා. මට වීසා තිබුණේ නැහැ. ඒ නිසා මම ඉන්දියානු ජාතිකයකු විධියට වෙස්වළාගෙනයි සිටියේ. බොරු නමකින් පන්ති පැවැත්තුවා. දිවා රාත්‍රි ලෙස තමයි පන්ති පැවැත්තුවේ. රැකියා කරන වැඩිමහල් අය තමයි ගොඩක් මගේ පන්තිවලට සහභාගි වුණේ. සිය දෙනෙක් පමණ මගෙන් අධ්‍යාපනය හැදෑරුවා. ඉන්දියානු මුදලින් රුපියල් 300ක් මම එක් සිසුවකුගෙන් ලබා ගත්තා.
ඊට පස්සේ මම හින්දි භාෂාවෙන් අධ්‍යාපන කරුණු ඇතුළත් කරලා සී.ඩී. තැටි සකස් කළා. මාත් මගේ බිරියත් නගරවලට ගිහිං ඒ සීඩී තැටි අලෙවි කළා. මට හොඳ ප්‍රතිචාරයක් තිබුණා. තව කාලයක් ඉන්දියාවේ සිටියා නම් මම එහෙත් ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙනවා.” මඳ සිනහවක් හෙළමින් සක්විති ඉන්දියාවේ ගත කළ කටුක ජීවිතය ගැන මෙලෙස සඳහන් කළේය.
වසර දෙකකට ආසන්න කාලයක් ඉන්දියාවේ ගත කළ සක්විති එරට මුදලින් රුපියල් 15,000කට ආසන්න මාසික ආදායමක් ටියුෂන් පන්ති පැවැත්වීමෙන් සහ අධ්‍යාපනික සීඩී තැටි අලෙවියෙන් උපයා ඇත.
නමුත් ඊට සාපේක්ෂව පවුලේ ජීවන වියදම වැඩි නිසා ඔහු 2010 වසරේ ජනවාරි මාසයේදී බිරිය සහ දරු දෙදෙනා නැවත මෙරටට එවීමට කටයුතු කළේය.
“ඒ වෙනකොට මම හොඳටම කෙට්ටුයි. කාටවත් මාව අඳුරගන්න අමාරුයි. ලංකාවට එනකොට මම රැවුල වවලා සිටියේ. ඊට පස්සේ මම බන්ධනාගාරගත වෙනකම්ම රැවුල කැපුවේ නැහැ.”
මෙරටට පැමිණි ඔහු බිරිය සහ දරු දෙදෙනා සමඟ හලාවත ප්‍රදේශයට ගොස් සැඟ වී සිටියේය. ඒ සපුමල් බණ්ඩාර යන නාමයෙනි.
“සපුමල් බණ්ඩාර නමින් මම හලාවතද ඉංග්‍රීසි පන්තිය පටන් ගත්තා. අසීමිත විධියට රැවුල වැවිලා තිබ්බ නිසා මං හිතුවා කාටවත් මාව අඳුරගන්න බැරි වෙයි කියලා. මගේ පන්තිවල ළමයි එකසිය පනහක් විතර ඉගෙන ගත්තා. එක දවසක් පන්ති ඉවර වුණාට පස්සේ එක සිසුවෙක් මගේ සමීපයට ඇවිත් ඇහුවා “සර් නේද සක්විති සර්” කියලා. මම කිව්වා නැහැ කියලා.
දෙවැනි දවසෙත් එම සිසුවා මං අසලට ඇවිත් කිව්වා “සර් තමයි සක්විති සර්” කියලා කිව්වා. ඒත් මම හිනාවෙලා කිව්වා මම සක්විති සර් නෙමෙයි කියලා.
තෙවැනි දවසෙත් එම සිසුවා මං අසලට ආවා. මම සර්ගෙ බොරැල්ලේ පන්තියකට දවස් දෙකක් ඇවිත් තියෙනවා. සක්විති සර් උගන්වන්නේ ඉංග්‍රීසි චිත්‍රපටි කොටස් අරගෙන. ඒ උගන්වන රටාවත් සක්විති සර් වගේමයි” “ඉතිං සර් සක්විති සර් තමයි“ කියලා සිසුවා මට පැවැසුවේ.
මාස දෙකයි මම හලාවත පන්ති කළේ. මට බය හිතුණා. මම නැවත වත්තල හේකිත්ත ප්‍රදේශයට ගියා.”
එහිදී තමන් රැකියාවක් ලෙස වැලි ගොඩ දැමීමේ කටයුතු කළ බවත් ජීවත් වීම සඳහා බිරියගේ පියාගෙන් මුදල් ඉල්ලීමට පුරුදු වී සිටි බවත් සක්විති පැවසීය.
ඉතිරි කොටස ලබන සතියේ…..
චාමර අමරසූරිය
ජායාරූප – කැලුම් චාමර
උපුටා ගැනීම – ඉරිදා මව්බිමෙන්