විශේෂාංග

MCC ක්‍රියාත්මකවන ලකුණු…. වාර්තාවේ කරුණු ජනතාවට තහනම්….

රාවය පුවත්පතෙන්

පසුගිය යුගයේ මහත් ආන්දෝලනයට ලක්වුණු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව රාවයට දැනගන්නට තිබේ.
ඒ බව තහවුරුවන්නේ එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අධ්‍යයනයක් කර නිර්දේශ ඉදිරිපත් කරන්නට ගෝඨාභය රාජපක්ෂ පත් කළ කමිටු ප්‍රධානී ආචාර්ය ලලිතසිරි ගුරුවරුන්ගෙන් අධ්‍යයන වාර්තාව පිළිබඳව රාවය කළ විමසුමේදීය.

රාවයට පිළිතුරු දුන් ආචාර්ය ගුණරුවන් පැවසුවේ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළිදරව් කල නොහැකි බවය. මේ වනවිට එම්සීසී ගිවිසුම පිළිබඳ අධ්‍යයනයේ අතුරු වාර්තාවක් රජයට භාරදී ඇති බවත් තව සිව්මසකින් අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බවත් පැවසූ ආචාර්යවරයා අධ්‍යයන වාර්තාවේ අන්තර්ගත තොරතුරු, තොරතුරු පනත ප්‍රකාරව ඉල්ලා සිටියද ලබාදිය නොහැකි බව පැවසීය.

එහෙත් මෙම ගිවිසුම් ගැන 2019 නොවැම්බර් 09 දේශය පුවත්පතේ වාර්තාවකට අනුව එවකට සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් නොදන්නා හෙයින් එය අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්තු කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත්ය. ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් ඊමෙල් ලිපියක් මගින් රාවයට දන්වා එවා ඇත්තේ එම්.සී.සී. ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිදුකරන අධ්‍යයනය අගය කරන බවය.

රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කීවේ එම්.සී.සී. ගිවිසුමේ අධ්‍යයන වාර්තාව නොබලා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

එම්.සී.සී. ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක මුදලක් හිමිවීමට නියමිතය. ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට ප්‍රධාන බාධක ලෙස පවතින ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා හඳුනා ගනිමින් ඒ සඳහා ව්‍යාපෘතීන් කීපයක් යෝජනා කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා එම්.සී.සී. ගිවිසුම කිසිසේත්ම ක්‍රියාත්මක නොකරන බවට ජනතාවට පොරොන්දු විය. එහෙත් අද එය ජනතාවගෙන් වසන් කොට ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව තල්ලු වී ඇත.


නිමල් අබේසිංහ
ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button