ඊයෙ පෙරේදා ඉපදුණු ලංකාවේ ඉතිහාසය නොදත් අයට
දුවේ පුතේ,
1971 තරුණ කැරැල්ලක් ගැන අහලා ඇති. මං එතකොට දෙක වසරෙ. ට්‍රැක්ටර්වල පිටිපස්සෙ තරුණ කොල්ලො කෙල්ලො බාගෙට මරල ගෙනියනව මං දැකලා තියෙනවා. ඒ මිය ගිය ගණන දැන් ඔබට බිංදු ගොඩක් තියෙන සංඛ්‍යාලේඛනයක් වෙන්න පුළුවන්. විසාලාවෙ වගෙ දුර්භාග්‍ය දුර්භික්ෂයක් ආව ඊට පස්සෙ. ඒ අවාසනාවන්ත පරම්පරාවට අයිති වැඩිහිටියෙක් මම. තිස් වසරක් නොකඩවා භාෂාවට වඩා යමක් උගන්වන්න මං උත්සාහ කළා. මිනිස්සු ගැන. පළල් දියුණු මිනිස්කම් ගැන.
1983 ජූලි කලබල වෙද්දී මං උසස් පෙළ පන්තියෙ. අත්තිඩියෙ ගල්කිස්සේ රත්මලාන දෙහිවල සම හරක්, මිනිස්සු මරනව දැක්ක ඇස් අපිට තියෙන්නේ. ඒ ඇස් ආයෙත් අවාසනාව දකිමින්. ඊට පස්සෙ යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. අපි තිස් අවුරුද්දක් යුද්ධය දැක්ක. මේක මිනී කනත්තක් වුණා. මේ මහපොළොව අවුරුදු දහයෙන් දහයට මිනී ඉල්ලනවා. ලේ විලක් ඉල්ලනවා. ඉතිහාසයේ අදාහනාගාර උඩ පාලකයො බලය ඉල්ලුවා. ජාතිවාදී රැළ, ආගම්වාදී පෙරහැර දැන් ඉල්ලන්නෙ ආයෙත් මරණය. 200ක් හිටපු කොටි 20000ක් කරේ 83 කළු ජූලිය.
අවුරුදු තිහක් තිස්සෙ මිනී කඳු ගොඩ ගහමින් අපි අත්වින්දෙ අපි ඒ වැපිරූ දේවල්වල අස්වැන්න.
1988-89 තරුණ නැඟිටීම මරණය ගැන සංඛ්‍යාලේඛනයක් නෙවෙයි.
අප්‍රේල් 21න් පස්සෙ දාමින් ඉන්න මේ ඇඳිරිනීතිය, බොහෝ විට ඕගොල්ලන්ගෙ ජීවිතේ පළවෙනි ඇඳිරිනීති අත්දැකීම වෙන්න ඇති. ඒත් අපි ඒ වගේ ඇඳිරිනීති ගණනාවක් පහු කරගෙන ආවා. අවුරුදු දහයෙන් දහයට විස්සෙන් විස්සට මේ රටේ මිනිස්සුන්ගෙ ලේ හැලෙන විදිහ අපි දැක්කා. ඒවට හේතු වුණ ජාතිවාදී ක්‍රියාකාරකම් මොනවද කියල අපි දැක්කා. මිනිස්සුන්ව ජාතිවාදයෙන් අන්ධ කරේ දේශපාලකයො බවත් දැක්කා. දැන් ඒ ඉතිහාසය නැවත සිද්ධ වෙමින් තියෙනවා.
ත්‍රස්තවාදයෙන් ජාතිවාදයෙන් අපේ ළඟම හිටපු සමීපතමයන් මියගියා. අපේ සමීපතමයා ත්‍රස්තවාදී දෙමළෙකු අතින් මියගියා කියල අපි සියලු දෙමළු කැති ගාන්න ගියේ නෑ. එරෙහි විය යුත්තේ ත්‍රස්තවාදයට මිසක් අනෙක් ජාතියට නෙමෙයි.
ලෝකය ගැන ඉතාම පටු කියවීමක් තියන ඕගොල්ලන්ට මේ කිසිවක් ගැන කිසිම දැනීමක් හෝ අදහසක් හෝ දෘෂ්ටිවාදයක් නැති බව පැහැදිලියි. දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් අහන්න. කියවන්න. ඉතිහාසය හොයන්න. වැරදුණ තැන් හරි ගස්සගන්න. ගිනි අවුළන එක ක්ෂණිකව කරන්න පුළුවන්. හැබැයි ඇවිළුණ ගිනි නිවන්න පරම්පරා ගානක් ගත වෙනවා.
මේ ඊයෙ පෙරේදා ඉපදුණ ඕගොල්ලො නොදන්න ලංකාවෙ ඉතිහාසය. මේක එකම රටාවකට කාලෙන් කාලෙට ලංකාවෙ දේශපාලනය ඇතුළෙ සිද්ධ වෙන්නක්. ඕගොල්ලො ඔක්කෝම මේ ෆේස්බුක් එකේ දඟලන්නෙ ඒ විදිහට දේශපාලකයන්ගෙ ලණු ගිලල කියල ඕගොල්ලො දන්නෙත් නෑ.
මෙච්චර සරලව පැහැදිලි කරලත් තේරෙන්නෙ නැත්තං උඹලට අනුකම්පා කරනව ඇර කරන්න දෙයක් නෑ. මේ ටික ලීවෙත් මෙලෝ හසරක් නොදැන ෆේස්බුක් එකේ දඟලන හිස් ඔළුගෙඩි සංඛ්‍යාව දැක්කම පව් කියල හිතෙන නිසා. ලංකාවෙ දේශපාලන ඉතිහාසය ගැන කිසිම අදහසක් නැතිව ෆේස්බුක් එකේ කුණුහරප ලිවීමෙන් වීරයෙක් වෙන්න පුළුවන් කියල හිතන් ඉන්නව නම් උඹලට පැපොල් ඇට ලොන්තයො කියන නම හොඳ වැඩියි….
උපුල් ශාන්ත සන්නස්ගල