විශේෂාංග

මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සුන්ට ‘කොරෝනා අභියෝගය’ දිනන්න පුළුවන්

- එරංග ගුණසේකර (අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික)

මේ මොහොතේ කොරෝනා වෛරසය විසින් මුළු ලෝකයම භීතියට පත් කරමින්, ලෝකය පුරාම ජන ජීවිතය අවදානමට පත් කරමින් සිටියි. ලංකාවට ද ඉන් මිදීමට හැකි වී නොමැත. එහෙත් කොරෝනා අවදානමෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම ද වඩාත් තීව්‍රව රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ, ආරක්ෂක අංශවල මෙන්ම අනෙකුත් බොහෝ අංශ වල සැලකියයුතු මැදිහත්වීමක් ඊට ලැඛෙමින් තිබේ. එවැනි තත්ත්වයක් තුළ කොරෝනා ආසාධිතයන් සමග සෘජුව ගැටෙමින් සිටින සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අත්‍යවශ්‍ය ආරක්ෂිත ඇඳුමක් නිර්මාණය කිරීමට අලූත් පියාපත් සංවිධානය කටයුතු කරනු ලැබීය. එහි මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර සමග මේ කතාබහ ඒ පිළිබඳවය.

අලූත් පියාපත් සංවිධානය විදිහට ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවෙ?

ලෝකයේම කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති වෙද්දි අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා, ලංකාව තුළ මෙවැනි අවදානම්ක ඇති වීම පාලනය කරන්නනම් මුළු රටම එකතු කරගත් වැඩපිළිවෙලකට යන්න ඕනෙ කියල. ඒත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ. ඒ වුණත් අපි කල්පනා කළා සංවිධානයක් විදිහට මේ තත්ත්වය ඇතුළෙ අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. ඉතාලියෙ තිබුණ අත්දැකීමක් වුණු සෞඛ්‍ය කාර්යමණ්ඩලය කොරෝනා අසාධානයට වැඩි වශයෙන් ගොදුරු වීම ගැන අවධානය යොමු කරපු අපි ඒ නිසාම ලංකාවේ කොරෝනා වෛරසය ආසාධනය වුණු සහ ආසාධනය වී ඇතැයි සැක කරන රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයවලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල වලට අඩුවක් තියෙනව කියල අපි දැක්කා. අපි හිතුව ඒකට විසඳුමක් දෙන්න පුළුවන් දෙයක් කරන්න ඕනෙ කියල. ඒ නිසා තමයි අපේ සංවිධානයේ කිහිප දෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ගිහින් එහි අධ්‍යක්ෂතුමා මුණ ගැහිල ඒ ගැන සාකච්ඡා කළේ. ඒ අනුව පී. පී. ඊ. කියන ඇඳුමට සමාන ඇඳුමක සාම්පල් එකක් අපිට දුන්නා. අපි ඒක අපේ සංවිධානයේම සාමාජිකයෙකුගෙ අම්ම කෙනෙක් ළඟට අරගෙන ගිහිල්ල ඇයත් එක්ක කතා කරල මේකෙ මූලික සැකිල්ල හදා ගත්ත. ඊට පස්සෙ අපි අපේ පළවෙනි සාම්පල් එක රාගම රෝහලට පෙන්නුවා. ඒ අය ඒක ගැන සෑහීමකට පත් වුණා. එහෙම තමයි අපි මේ ආරක්ෂිත ඇඳුම එහෙම නැත්නම් දැන් කවුරුත් කියන ‘කෝරෝනා කිට් එක’ නිර්මාණය වුණේ.

පී.පී.ඊ. කියන ඇඳුමට විකල්පයක් වුණු කොරෝනා කිට් එක නිර්මාණය කරද්දි ඒකට ඕනෙ කරන අමුද්‍රව්‍ය සොයා ගත්තෙ කොහොමද?

මුලින්ම අපි කළේ මේ ගැන උපදෙස් වගේම ද්‍රව්‍යමය ආධාර අවශ්‍යයි කියල අන්තර් ජාලයේ ප්‍රචාරය කරපු එක. ඒ මගින් අපිට බොහෝ දෙනෙකුගේ උපකාරය ලැබුණා. පොලිතින් කඩ කිහිපයකින් අමුද්‍රව්‍ය ගත්තා. ඇඳිරිනීතිය දාල තිබුණ වුණත් අපේ කට්ටිය සම්පූර්ණයෙන්ම පැය හතළිස් අටක් එක දිගට නින්දක් නොලබා වැඩ කළා. අපි එහෙම වැඩ කරල පළවෙනි සැරේට ඇඳුම් අටසීයක් නිම කළා. ඒක කළේ මහා පරිමාණ ඉඩක් තියන කර්මාන්තශාලාවක නෙමෙයි. අතුරුගිරිය පැත්තෙ පුංචි නිවසක. ඒ වුණත් අදාළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මේ වැඩේ නියමිත ප්‍රමිතියෙන් යුතුව කරන්න තරම් ඔවුන්ගේ හිත් ශක්තිමත්. ඒ නිසා අපිට පළවෙනි කඩඉම ජය ගන්න හැකි වුණා.

මේ විදිහට නිර්මාණය කරපු ඇඳුම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු පිරිස් වලින් ලැබුණු ප්‍රතිචාරය මොන වගේද?

අපි අපේ පළවෙනි ඇඳුම් කට්ටල ටික රාගම රෝහලට තමයි බාර දුන්නෙ. ඔවුන් ගොඩක් ප්‍රශංසා කළා, හිතුවටත් වඩා හොඳට අපි ඒ නිර්මාණය කරල තියෙනව කියල. ඊට පස්සෙ අපි මේ ඇඳුම ගැන අන්තර්ජාලයේ ප්‍රචාරය කළාට පස්සෙ විශාල වශයෙන් අපිට ඉල්ලීම් ලැඛෙන්න පටන් ගත්තා. ඒත් ඒ ලැබුණු ඉල්ලීම් ප්‍රමාණය අපිට සම්පූර්ණ කරන්න තනියම බැහැ කියන එක අපිට තේරුණා. ඒ නිසා අපි මේ ඇඳුමේ සැලසුම් එහෙම නැත්නම් ඩිසයින් එක අන්තර් ජාලය හරහාම මුදා හැරියා. ඒ නිසා මේ වෙනකොට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අපි දුන්න සැලසුම අනුව මහන්න පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රමුඛ ඇඳුම් නිෂ්පාදන ආයතනයක් වන මාස් හෝල්ඩිංග්ස් ආයතනය පවා අපෙන් මේ ගැන තොරතුරු අරගෙන ඇඳුම් නිම කිරීම පටන් ගත්තා. ඒ ගැන ඔවුන් අපිට විශේෂ ස්තූතියකුත් කළා. පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවෙනුත් අපෙන් තොරතුරු අරගන නිෂ්පාදනය පටන් ගත්තා.

දැනට ඔබේ සංවිධානය විසින් මේ ඇඳුම් නැත්නම් කොරෝනා කිට් ලබා දීල තියෙන ආයතන මොනවද?

ජාතික රෝහල, කාසල් රෝහල, රාගම, අයි.ඩී.එච්. එක වගේ අපට යන්න පුළුවන් ප්‍රධාන රෝහල්වලට අපේ තියන සම්පත් හැකියාවත් එක්ක අපි නොමිලේ ගිහිල්ල දෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය රෝහල්, පොලිසි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපි ළඟට ඇවිල්ල අවශ්‍ය ප්‍රමාණ අරගෙන යනවා. ඊට අමතරව යාපනය, මඩකළපුව වගේ ප්‍රදේශ වලට කතා කරල ඔවුන්ටත් යම් අවශ්‍යතාවන් පවතිනවා නම් අපි ඔවුන්ටත් මේ ඇඳුම් ඛෙදාහැරීමට වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඔබට හැකියාව තියෙනවද?

අපිට රෝහල් වලින් ඉල්ලන ප්‍රමාණයන්ම දෙන්න විදිහක් නෑ. ඒ වුණත් අපි ඉවර වෙද්දි හිඟයක් නැතුව ලබා දෙනවා. අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරන්න වගේම ඒව ගබඩා කරල තියාගන්න ඕනෙ තරම් පහසුකම් ඇතුව නෙමෙයි අපි මේ වැඩේ කරන්නෙ. ඒ වගේම මේ ඇඳුමක් ඇඳගෙන ගියාට පස්සෙ ඉන්න සියලූම රෝගීන්ට අවශ්‍ය සාත්තු කරල එළියට ආවට පස්සෙ කවුරුත් මේ ඇඳුම අල්ලන්නෙ නෑ. ඇඳන් ගිය කෙනාම ඇඳුම ගලවල භාජනයකට දාල ඊට පස්සෙ ඒ ඇඳුම පුච්චනවා. රාගම වගේ රෝහලක එක සෞඛ්‍ය සේවකයෙකුට මේ වගේ ඇඳුම් තුනක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අවශ්‍යතාවය කියන්නෙ අපි හිතනවට වඩා විශාල ප්‍රමාණයක්. පසුගිය දවසක කාසල් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා අපිත් එක්ක කිව්ව, මේ ඇඳුම සෑහෙන හොඳ මට්ටමේ තියන නිසා එයාල ළඟ කෙමිකල් එකක් තියනව කීව ඒක දාල මේක තුන් පාරක්වත් පාවිචි කරන්න පුළුවන් වෙයි කියල. ඒ හැකියාව ගැන ඔවුන් පරීක්ෂණ කරල බලනව කිව්වා. ඒ පරීක්ෂණය සාර්ථක වුණොත් තවත් සහනයක් වෙයි. එ වගේම අපි අලුත් පියාපත් සංවිධානය විදිහට මේ වැඩේ අපිම කරන්න ඕනෙ කියල හිතන්නෙ නැහැ. අපි නිපදවපු බ්ලොක්, තාක්ෂණික කරුණු අපේ ෆෙස්බුක් පිටුවට එකතු කරල තියනවා. උවමනාවක් තියන, හැකියාවක් තියන ඕනෙම කෙනෙකුට ඒව අරගෙන මේ ඇඳුම් නිපදවීමේ හැකියාවක් තියනවා. මේ වෙලාවෙ හැම කෙනෙක්ගෙන්ම අපි ඉල්ලන්නෙ ඒකයි.


චතුර දිසානායක
ලංකා පුවත්පත

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close