විශේෂාංග

හඬ පට මගින් ලිහිල් වුනු දේශපාලන සළු පට

සමාජය තුල පවතින බොහෝමයක් සමාජ දේශපලන අර්බුද සදහා පැවති හා පවතින දේශපාලන ක්‍රියාවලිය සෘජුවම වග කිව යුතු බැව් නොදන්නා කිරි සප්පයෙක් මේ පුණ්‍ය භූමිය මත නොමැති තරම්ය. එතරමට ලාංකීය දේශපාලන ක්‍රියාවලිය දූෂිතය, මජරය, කොටින්ම එය නූතන දේශපාලන විද්‍යාත්මක ප්‍රාථමික න්‍යායන් පවා අමු අමුවේ උල්ලංඝනය කරනු ලබයි. එය පසුගියදා දියවන්නා කවුන්සිල මැම්බර් උතුමෙකුගේ මැම්බර් නිල නිවසින් මතුව සමාජ ගත වූ රහසිගත හඩපට මගින් මැනවින් ගම්‍යමාන කරවයි. එකී හඩ පට මගින් හුවා දක්වන්නේ ලාංකීය දේශපාලකයා කිසිදු ස්වාධීන ආයතනයකට ජනතා පරමාධිපත්‍ය උදෙසා ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩ නොදී සිය දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම උදෙසාම එකී ආයතනයන් යොදවා ගන්නා කාලකණ්ණි ස්වරූපයයි. එනයින් එකී හඩ පට මගින් වහනය කරවන්නේ ලාංකීය දේශපාලයේ ඇති පිළී දුර්ගන්දය මිස අන් කවරක්ද.

තමන්ට වූ අගතිය සදහා සාධාරණයක් අපේක්ෂාවෙන් විනිසුරන් ඉදිරියේ “ස්වාමීනී” යනුවෙන් අතිශය ගෞරවයෙන් ආමන්ත්‍රණය කළ සාමාන්‍ය පුරවැසියා අතිශය ස්වාධීන යැයි අනුමාන කළ විනිසුරන් රාජකාරියෙන් ඉක්බිති දේශපාලකයා අභිමුව දණින්වැටී “අනේ සර් කොහොම හරි මගේ ප්‍රොමෝෂන් එක මොනවම හරි කරල දෙන්න ලොකු දෙයක්” යනුවෙන් බැගෑපත් වෙන හඩ ඇසෙන කල විනිසුරන් ඉදිරියේ අධිගෞරවයෙන් ඇමතූ සාමාන්‍ය සිවිල් වැසියා කුමක් නම් සිතනු ඇත්ද? එමෙන්ම සාමාන්‍ය සිවිල් සමාජය ඉදිරියේ ගිරිය පුප්පා නීතිය තදින් ක්‍රියාත්මක කරන නිළදරුවන් දේශපාලකයන්ගේ අත්ලේ රූකඩ මෙන් නැටවෙන හඩ ඇසෙන ලාංකීය අහිංසක සිවිල් වැසියා රටේ මහත් වෙරක් දරා ස්ථාපිත කර ඇති ස්වාධීන ආයතන පිළිබද කුමකින් කුමක් සිතනු ඇත්ද.

මහ ඡන්දයක් අභි මුව මෙකී හඩ පට සමාජ ගතවීම මගින් අදාල දේශපාලන පක්ෂයන්ට සිදුවන හානිය කෙතරම් දැයි ගණනය කිරීමට නොහැකිතරම් අතිශය භයන්කර තත්වයක් පැවතියද, මෙම හඩපට අදාල මැම්බර්වරයා විසින් තමන්ට රිසි සේ පටිගත කිරීම හෝ හඩපට තුලින් සාකච්ඡා කරනු ලබන දෑ සාධාරණීකරණය කිරීමට ප්‍රයත්න දැරීමෙන් පලක් නැත. මන්ද යත් සිදුවූ දෙයින් අදාල පාර්ශව බුරුලට ඉණ වටා හැදසිටි වස්ත්‍රය ගැළවී බිම පතිත වී හමාරය. කොටින්ම ඉන් සමාජයට පෙන්වූ සෙළුව කිසිදු අයුරකින් වසා ගැනීමට දැන් ප්‍රමාද වැඩිය. එබැවින් දේශපාලනය කුමක් වුවද වැට කඩාගෙන දිවයන ගවයා නැවතත් හරි මාර්ගයට ගෙන බැද දැමීමට දේශපාලන පකෂ පමණක් නොව ඒ සදහා සිවිල් සමාජයද බරපතල ලෙස පෙළ ගැසිය යුතුය.

සමාජය නොසිතූ ලෙස ලාංකීය මජර දේශපාලනයේ එක් පැති කඩක් එසේ නිරාවරණය වද්දී එමගින් සමාජය තුල නීතියේ ස්වාධිපත්‍ය පිළිබදව ඇති වූ සැකය අනාගතයේදී හෝ දුරු කරන්නේ කෙසේදැයි වග කිව යුත්තන් නැවත් නැවතත් සිතා බැලිය යුතුය. කොටින්ම ලාංකීය දේශපාන ක්‍රියාවලිය තුල වෙසෙනා හාල්මැස්සකුගේ හපන් කම් මෙලෙස නම් තොරු මෝරුන්ගේ ක්‍රියාකලාපය කෙතරම් දැයි සිවිල් සමාජයට සැකයකින් යුතුව ප්‍රශ්න කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේ. ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීමට නම් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර පැහැදිලි වෙන්වීමක් පැවතිය යුතු වුවද ලංකාව තුල අපේක්ෂිත ක්‍රියාවලිය සිදුවන්නේ උඩු යටිකුරුව බව මෙම හඩපට මගින් පැහැදිලි වී හමාරය.

එනයින් මෙලෙස අතපසු වීමකින් හෙළි වූ ලාංකීය දේශපාලන්යේ මජරත්වය හා ඉන් සමාජයහට සිදුවීමට නියමිත අනියත ප්‍රතිථලය අවම කර ගැනීම කෙරෙහි මේ මොහොතේ පටන් සියල්ලන්ගේ අවදානය යොමු විය යුතුය. කොටින්ම හඩපට දරා සිටි මැම්බර් උතුමන් අදාල දේශපාලන පක්ෂයෙන් නෙරපීමෙන් පමණක් ඇතිවී තිබෙන අර්බුදයට විසදුමක් නොසපයන අතර සමස්ත ක්‍රියාවලියේම සාධනීය වෙන්සක් සදහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියල්ල එක් විය යුතුම අවස්ථාවක් ලෙස වත්මන් අර්බුදය හදුනාගෙන නියපොත්තෙන් කැඩීමට නොව වේගයෙන් සරුවට වැඩෙමින් මහා රූස්ස ගසක් ලෙස වැඩෙමින් තිබෙන වත්මන් අර්බුදය ජාතියේ නාමයෙන් කපා බිම හෙළිය යුතුය. එසේ නොමැතිව ඡන්ද ජයග්‍රහණය කිරීමෙන් පමණක් මෙම අර්බුදයට විසදුම් නොලැබෙනු ඇත.


නීතිඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button