විශේෂාංග

ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය

ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ස්වභාවය

ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය බහුපක්ෂ ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි ය. එනම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ලංකාවේ දේශපාලන පක්ෂ රාශියක් ක්‍රියාත්මක වීම මත මෙසේ පක්ෂ ක්‍රමය බහු පක්ෂ ක්‍රමයක් ලෙස හඳුන්වයි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, මුස්ලීම් කොංග්‍රසය, සිහළ උරුමය යනාදී වශයෙන් දේශාලන පක්ෂ රාශියක් ක්‍රියාත්මක වීම මත ලංකාවේ පක්ෂ ක්‍රමයක් ලෙස හදුන්වයි.

ලංකාවේ බහු පක්ෂ ක්‍රමයක් බිහිවීමට බලපෑ හේතු සාධක

වාර්ගික පදනම මත දේශපාලන පක්ෂ බිහිවීම

වාර්ගික පදමන මත දේශපාලන පක්ෂ බිහිවීම හේතුකොට ගෙන බහු පක්ෂ ක්‍රමයක් නිර්මාණය වී ඇත. පෙඩරල් පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, මුස්ලීම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, සිහල උරුමය, සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය යනාදී වශයෙන් වර්ගවාදී පක්ෂ රාශියක් ලංකාවේ පවතී.

දේශපාලන න්‍යාය පදනම් කරගෙන පක්ෂ බිහිවීම

එක් එක් දේශපාලන න්‍යාය පදනම් කරගෙන පක්ෂ බිහිවීම ද බහු පක්ෂ ක්‍රමයට හේතු විය. මෙහිදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පදනම් කරගත් පක්ෂ දැකිය හැකි ය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ආදී පක්ෂ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පදනම් කරගත් දේශපාලන පක්ෂ වේ. සමාජවාදී න්‍යාය පදනම් කරගත් පක්ෂ ලෙස ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ආදී පක්ෂ දැක්විය හැකි ය.

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් කණ්ඩායම් ඉවත් වීම

මෙසේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් කණ්ඩායම් ඉවත් වීම ද බහු පක්ෂ ක්‍රමයක් ගොඩනැගීම කෙරෙහි බලපෑ තවත් සාධකයකි. එය අතීතයේ සිට අද දක්වාම ලංකා දේශපාලනය තුළ දැකිය හැකි ලක්ෂණයකි. මේ අනුව 1951 දී එක්සත් ජාතික පක්ෂයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා තම පක්ෂයේ නායකයන් සමඟ ඇති මත භේදයක් මත පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරයි. 1977 වර්ෂයේ ලංකා සම සමාජ පක්ෂයෙන් නෙරපන ලද වාසුදේව නානායක්කාර මහතා, 1982 දී නව ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා ගනී. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග චෝදනාවක් ගෙන ඒමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජී.එම්.ප්‍රේමචන්ද්‍ර වැනි ප්‍රබල සාමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් බිහිකර ගනී.

ලංකාවේ ක්‍රියාත්මක වන සමානුපාතික නියෝජන ක්‍රමය

මෙරට ක්‍රියාත්මක වන සමානුපාතික නියෝජන ක්‍රමය නිසා කුඩා පක්ෂවලට ව්‍යවස්ථාදායකය තුළ නියෝජනයක් ලැබීමේ තත්ත්වය ද, බහු පක්ෂ ක්‍රමය බිහිවීමට බලපා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button