විශේෂාංග

ස්ත්‍රීන් සියයක් දූෂණය කරලා පාටි දානකොට, සංස්කෘතිය විනාශ වෙනව කියන භික්ෂුන් කොහෙද හිටියෙ?

කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමි

අද තියෙන තත්ත්වය තමයි භික්ෂුවගේ කාර්යභාරය සම්බන්ධයෙන් නිසි කතිකාවක් නැති කම. මොනවද අද භික්ෂුව කරමින් ඉන්නෙ? පිණ්ඩපාතය කියන බෞද්ධ සංකල්පය අද පාවිච්චි වෙන්නෙ දේශපාලකයන් වෙනුවෙන්. ඒ වෙනුවට මනුස්සයෙක් වෙනුවෙන් කවුද පාත්තරයක් අරගෙන එළියට බැස්සෙ? ඒ වගේම බුදු හාමුදුරුවන්ට හොඳටම උපකාර කරපු සේනිය බිම්බිසාර රජ්ජුරුවන්ටත් කකුල් පලල, ලුණු දාල ඝාතනය කළා, එයාගෙ පුතා අජාසත්ත. ඒත් බුදුහාමුදුරුවො අනෙක් භික්ෂුන් වහන්සේලාත් එක්ක අජාසත්තව කපව්, කොටව් කියල එළියට බැස්සෙ නැහැනෙ. ඒත් අද මේ හාමුදුරුවරු කරන්නෙ ඒක නේද?

මේ මොහොතේ ඇතැම් භික්ෂුන් වහන්සේලා රටේ දේශපාලන ක්‍රියාවලියට සාපේක්ෂව වැඩි මැදිහත්වීමක් කරන බවක් පේනවා. ඒ තත්ත්වය ඔබවහන්සේ දකින්නෙ කොහොමද?

එක්දහස් නමසිය පනස් හයේ බණ්ඩාරනායක මහත්තය බලයට පත් වුණේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන බලවේග මූලික කරගෙන. ඒ වෙලාවෙත් භික්ෂුන් වහන්සේලා ක්‍රියාකාරීව මැදිහත් වුණා. ඒ මැදිහත්වීමත් අවසන් වුණේ රට විශාල ඛේදවාචකයකට අරන් ඇවිත්. ඊටත් වඩා වැඩි මැදිහත්වීමක් සහිතව ඒ තත්ත්වයේම නැවත ප්‍රතිනිර්මාණය වීමක් විදිහට තමයි මම මේ තත්ත්වය දකින්නෙ. අනෙක් පැත්තෙන් ඒ වෙලාවෙ රටේ ජාතික තලයේ භික්ෂුන් වහස්සේලා තමයි ඒකට මැදිහත් වුණේ. ඒත් අද මේ ක්‍රියාකාරී වෙන භික්ෂුන් වහන්සේලා කියන්නෙ ඒ ඒ දේශපාලන පක්ෂ විසින්ම නිර්මාණය කරපු භික්ෂුන්. ඔවුන්ගේ එකම කාර්යය වෙලා තියෙන්නෙ තමන්ගේ දේශපාලන නායකයා පිරිසිදු කිරීම සහ තමන්ගේ දේශපාලන පක්ෂය විසින් කරන්න කියන දේවල් මිනිස්සුන්ට තහවුරු කරන එක. සරලව කියනව නම් ඔවුන් කරන්නෙ දේශපාලනය වෙනුවෙන් සිවුර අලෙවි කිරීමක්. අපිට පේන්න තියන කටහඬ භික්ෂුන් වහස්සේලාගේ වුණාට ඔවුන් නියෝජනය කරන අදහස් දේශපාලකයන්ගේ. ඒ නිසා මේ තත්ත්වයේ අවසානය වෙන්නෙ නැවතත් රට ප්‍රශ්න මාලාවකට අරගෙන යන එක.

ඒත් මේ තත්ත්වය සම්බන්ධයෙන් භික්ෂු සංස්ථාව තුළත්, ගිහි සමාජය තුළත් ප්‍රමාණවත් කතිකාවක් නිර්මාණය වෙලා නැහැ නේද?

කැකිරාවේ සුදස්සන හිමි

ඔව්, ඒක ඇත්ත. මේ වගේ තත්ත්වයන් බුද්ධ කාලයේත් ඊට පසු කාලීනවත් ඇතැම් අවස්ථාවල දකින්න ලැබුණා. ඒත් ඒ අවස්ථාවන්වල භික්ෂු සමාජයත්, ගිහි සමාජයත් ඒවට මැදිහත් වුණා. වැරදි ක්‍රියාවල යෙදෙන භික්ෂුන්ට බ්‍රහ්ම දණ්ඩනය පැණවූ අවස්ථා අපි අහල තියෙනවා. ගිහි සමාජයෙන් දාන මාන ලබාදීම නතර කරපු අවස්ථා ගැන අපි අහල තියෙනවා. එහෙම කරළ වැරදි මාර්ගයේ යන භික්ෂුන් නිවැරදි මාර්ගයට ගෙනාව. ඒත් අද තියෙන තත්ත්වය තමයි භික්ෂුවගේ කාර්යභාරය සම්බන්ධයෙන් නිසි කතිකාවක් නැති කම. මොනවද අද භික්ෂුව කරමින් ඉන්නෙ? පිණ්ඩපාතය කියන බෞද්ධ සංකල්පය අද පාවිච්චි වෙන්නෙ දේශපාලකයන් වෙනුවෙන්. ඒ වෙනුවට මනුස්සයෙක් වෙනුවෙන් කවුද පාත්තරයක් අරගෙන එළියට බැස්සෙ? ඒ වගේම බුදු හාමුදුරුවන්ට හොඳටම උපකාර කරපු සේනිය බිම්බිසාර රජ්ජුරුවන්ටත් කකුල් පලල, ලුණු දාල ඝාතනය කළා, එයාගෙ පුතා අජාසත්ත. ඒත් බුදුහාමුදුරුවො අනෙක් භික්ෂුන් වහන්සේලාත් එක්ක අජාසත්තව කපව්, කොටව් කියල එළියට බැස්සෙ නැහැනෙ. ඒත් අද මේ හාමුදුරුවරු කරන්නෙ ඒක නේද? ඒත් ඒකට අද භික්ෂුන් වහන්සේලාගේ නායක හිමිවරුන්ට මේකට මැදිහත් වෙන්න බැරි ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි අද ලංකාවේ තියන බුද්ධාගම රාජපක්ෂ බුද්ධාගමක් බවට පත් වී තිබීම. ඒකට අද සම්පූර්ණයෙන් සංඝ සංස්ථාව නතු වෙලා ඉවරයි.

ඒ වගේම පසුගිය දවස්වල අපි දැක්ක දෙයක් තමයි මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් කෙනෙක්ට පහර දෙනවා. එක්ට හේතුව වුණේ ඒ පුද්ගලයා වෙනත් ආගමක ප්‍රචාරක කටයුතු සිදුකිරීම. බුදු දහමට අනුව එවැනි හැසිරීමක් භික්ෂුවකගෙන් දකින්න පුළුවන්ද?

අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් කරපු ඓතිහාසික කාර්යභාරයක් තිබුණා. ඒක වෙනම කාරණාවක්. ඒත් ඒ හාමුදුරුවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දෙවෙනි කාරණය තමයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ඕනෑම කෙනෙක්ට තමන් කැමති ආගමක් ඇදහීමටත්, එය ප්‍රචාරය කිරීමටත් නිදහසක් තියෙනවා. ඒ වගේම ලංකාවේ හාමුදුරුවරු ලංකාවෙන් පිටට ධර්ම ප්‍රචාරක කටයුතුවලට යනවනෙ. ඒ රටවල ඉන්න මිනිස්සු හාමුදුරුවරුන්ට ගහල එළවන්නෙ නැහැනෙ. යුරෝපයේ රටවල අපි දැකල නැහැ, මේ රටේ තියෙන්න පුළුවන් ක්‍රිස්තියානි ආගම විතරයි, බුද්ධාගම මෙහෙ බැහැ කියල, ඒ රටවලට ගිය අපේ හාමුදුරුවන්ගෙ කන පලල එවනවද?. ඒ නිසා මම නම් කියන්නෙ මෙවැනි ප්‍රචණ්ඩකාරී හැසිරීම් වෙනුවට ඇත්ත ප්‍රශ්නය තේරුම් ගන්න ඕනෙ කියන එක. ඇතැම් ක්‍රිස්තියානි සභාවන් විසින් කෙනෙක්ව ඒ ආගමට බඳවා ගන්නෙ ඒ අයගෙ මූලික ගැටලුවලට මැදිහත් වෙමින්. ඒ කියන්නෙ දුප්පත්කමට යම් සහන ලබා දෙමින්. එහෙම නම් අපි කරන්න ඕනෙ අර මනුස්සයගෙ කනට ගහන එක නෙමෙයි. මිනිස්සුන්ගෙ දුප්පත් කම නැති කරන්න මැදිහත් වෙන එකයි. හේතුව නැති කරන්නෙ නැතුව ඵලයට කොච්චර ගැවහුවත් වැඩක් වෙන්නෙ නැහැ.

ඇතැම් භික්ෂුන් වහන්සේලා පසුගිය ආසන්න කාලය පුරාම ජාතිවාදී සංකල්ප සමාජය තුළ වර්ධනය කරන්නත් මැදිහත් වුණා. මේ විදිහට ජාතිවාදය පෝෂණය කිරීම බුදු දහමට අනුව අපි තේරුම් ගන්නෙ කොහොමද?

ජාතිවාදය කියන්නෙ සම්පූර්ණයෙන්ම බුදු දහමෙන් ප්‍රතික්ෂේප කරන දෙයක්. ‘වාසෙට්ඨ’ සූත්‍රයේදී බුදු හාමුදුරුවො පැහැදිලිවම කියපු දෙයක් තමයි, ජාතිය කියන දේ අදාළ වෙන්නෙ සත්තුන්ටයි, ගහකොළවලටයි විතරයි කියන එක. මිනිස්සුන්ට ජාතියක්, ආගමක්, කතා කරන භාෂාවක් අනුව බෙදෙන්න අයිතියක් නැහැ කියල තමයි බුදු දහමේ උගන්වන්නෙ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා කවුරු හරි ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටිනව නම්, ඒ භික්ෂුව තවදුරටත් බුදු දහම නියෝජනය කරන කෙනෙක් නෙමෙයි. මේ රටේ සිංහල වගේම දෙමළ, මුස්ලිම් ප්‍රජාවත් රටට සේවයක් කරල තියෙනවා. හොඳම උදාහරණය තමයි මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා දීමට මොහොමඞ් කියන මුස්ලිම් ජාතික මහත්මයාගේ මැදිහත්වීම. අද ජාතිවාදය වපුරන කිසිම භික්ෂුන් වහස්සේ නමක් ඒ යන්ත්‍රය අරන් දෙන්න පිණ්ඩපාතෙ ගියෙ නැහැනෙ. ඒ නිසා ජාතිවාදය වැපිරීමත් අර කලින් කියපු දේශපාලන න්‍යාය පත්‍රයේම කොටසක්. ඒ නිසා අපි මේ ගැන බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනෙ. මේ වෛරී මැදිහත්වීම කිසිසේත්ම බුදු දහම නෙමෙයි.

පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙනුත් භික්ෂුන් වහන්සේලා යම් යම් ප්‍රකාශ කරනවා අපි දැක්කා. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළේ ඒ මගින් දරුවන් කාමුකයන් බවට පත් කරනවා කියලා. එය ඔබ වහන්සේ අනුමත කරනවද?

මගේ අදහස නම් සංස්කෘතියත් විද්‍යාවත් පටලවා ගන්න හොඳ නැහැ කියන එකයි. ඒ වගේම බුදු දහම තුළ තරම් ලිංගිකත්වය ගැන කතා කරපු වෙනත් ආගමක් නැති තරම්. පංච ශීලයේ කාමේසු මිච්ඡාචාරාවල ඉඳන් සාමනේර දස ශීලයේ අබ්‍රහ්මචරියාව දක්වාත්, උපසම්පදාවේදීත් මේ ගැන කතා කරල තියෙනවා. වෙනමම සූත්‍ර පවා තියෙනවා, ලිංගිකත්වය ගැන සාකච්ඡා කරපු. ඒ නිසා බුදු දහම තුළත් ලිංගික අධ්‍යාපනයක් ලබා දුන්නා. ‘කාමේසු මිච්ඡාචාරා’ කියන ශික්ෂා පදයේ කියන්නෙ ගිහි ජීවිතයේදී සදාචාරවත් ලිංගික ජීවිතයක් හදා ගන්නෙ කොහොමද කියන එක. භික්ෂුන් වහන්සේලා විමුක්ති මාර්ගයේ යනව නම් ලිංගිකත්වයෙන් ඈත් වෙන්නෙ කොහොමද කියන එක කතා කළා. ඒ නිසා ලිංගික අධ්‍යාපනය කියන්නෙ සංස්කෘතිය විනාශ කරන දෙයක් කියනව නම් ඒකත් වැරදියි. අනෙක් පැත්තෙන් අද වෙනකොට අපේ සංස්කෘතියෙ මොනවද තවත් විනාශ වෙන්න තියෙන්නෙ? දවසකට ගබ්සා කිරීම් කීයක් සිද්ධ වෙනවද? ලිංගික හිංසන කීයක් වෙනවද? ස්ත්‍රීන් සියයක් දූෂණය කරලා පාටි දානකොට මේ සංස්කෘතිය විනාශ වෙනව කියන භික්ෂුන් කොහෙද හිටියෙ? බොරුවට සංස්කෘතිය කියල, ඇත්තට සමාජය තුළ නැති තත්ත්වයක් උත්කර්ෂයට නගනව වෙනුවට තමන්ගෙ ශරීරය තුළ සිද්ධ වෙන වෙනස්කම් ගැන තේරුම් ගැනීමට, ඒ ගැන අධ්‍යාපනයක් ලැබීමට ඕනෑම කෙනෙක්ට අයිතියක් තියෙනවා කියන එක අපි පිළිගන්න ඕනෑ. එහෙම තේරුම් ගන්න අවස්ථාව ලබා දුන්නොත් තමයි ඔවුන් සංස්කෘතික මිනිසුන් බවට පත් වෙන්නෙත්.

භික්ෂු සමාජය තුළ මේ ඇති වෙලා තියෙන තත්ත්වයට පිළිතුර විදිහට ඔබවහන්සේ දකින්නෙ මොකක්ද?

බෞද්ධ ශාසනය සහ ධර්මය රැඳිල තියෙන්නෙ සිවුර මත විතරයි කියල කියනව නම් ඒක මම පිළිගන්න දෙයක් නෙමෙයි. ශාසනය කියන්නෙ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිවුවනක් පිරිසට. භික්ෂුන් වහන්සේ කියන්නෙ ඒ පිරිසට මග පෙන්වන්නා පමණයි. ඒ නිසා භික්ෂුන් වහන්සේ දෙයක් කියද්දි ඒක මොන තරම් දුරට සමාජයේ ප්‍රගමනයට හේතු වෙනවද කියන එක හිතන්න ඕනෙ. ඒ වගේම භික්ෂුන් වහන්සේ වුණත් කියන දේ සිහි නුවණින් විමසා බැලීම පුරවැසියන්ගේ වගකීමක්. ‘අත්තහිතාය පරිපන් නො පර හිතාච’ කියල කියන්නෙ තමන්ටත් අනුන්ටත් කොයි තරම් දුරට හිත සුව පිණිසද කියල කල්පනා කරන්න කියන එක. ඒ විදිහට හිතන්න පුළුවන් තැනට සමාජය ගෙනියන්න පුළුවන් නම් මේ තත්ත්වය වෙනස්කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ධර්මය පිළිබඳ කියවීමක්, මානව දයාව පිළිබඳ කියවීමක් මේ සමාජය තුළ ඇති කරන්න ඕනෑ.


සංවාද සටහන – චතුර දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button