දේශීය

කොරෝනාවෙන් බේරීමේ විශේෂඥ උපදෙස් ලොක්කන් පිළිපදින්නේ නෑ

කොරෝනා ආසාදනය වීමෙන් ගැලවීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන් ලබාදෙන උපදෙස් රටේ ඉහල බලධාරීන් පවා නොසලකා හරින බව ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය උන්නතිය පිළිබදව කටයුතු කරන ප්‍රමුඛතම වෘත්තිකයන්ගේ සංවිධානයක් විසින් අනාවරණය කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් විසින් යෝජනා කර ඇති මාර්ගෝපදේශ “ඉහල මට්ටමේ පාර්ශවකරුවන්” මෙන්ම බිම් මට්ටමේ නිලධාරීන්ද අනුගමනය නොකරන විවිධ අවස්ථා වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) පවසයි.

“දැනට යෝජනා කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ජාතික සහ පළාත් මට්ටමේ ගැටළු සහගත තත්වයන් අප නිරීක්ෂණය කර ඇත…” යි කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපාය පිලිබඳ යෝජනා රජයට ඉදිරිපත් කරමින් CCPSL විසින් නිවේදනය කර තිබේ.

“ඇතැම් විට ඉහළ මට්ටමේ පාර්ශ්වකරුවන් මෙම ක්‍රියාදාමයට නිසි පරිදි අනුගත වීමක් නොපෙන්වන අතර බිම් මට්ටමේදී ද අදාළ මාර්ගෝපදේශයන් නිලධාරීන් විසින් අනුගමනය නොකරන විවිධ අවස්ථා වාර්තා වී ඇත.”

එබැවින් ජාතික මට්ටමේ සහ බිම් මට්ටමේ කණ්ඩායම් අතරත්, රෝග ප්‍රතිකාර සහ නිවාරණ කාර්ය මණ්ඩල අතරත්, මේ එක් එක් කාණ්ඩයේ අනු කාණ්ඩ අතරත් වඩාත් එලදායි සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා නැවත පසු විපරමක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

හිරු නාලිකාවේ වගකීම්

රටේ වගකිය යුතු පුද්ගලයන් සෞඛ්‍ය අංශ උපදෙස් වලට අවනත අනුගත නොවීම සම්බන්ධයෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ හෙළිදරව්ව ප්‍රකාශයට පත් කර ඇත්තේ රට පුරා ඇඳිරි නීතිය පනවා සමාජ දුරස්ථ භාවය රැකීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබියදී හිරු නාලිකාව අප්‍රේල් 7 දිනයේ තලවතුගොඩ දී සියයකට අධික පිරිසක සහභාගිත්වයෙන් අවුරුදු උත්සවයක් රූගත කළ අයුරු මාධ්‍ය විසින් වාර්තා කිරීමෙන් දින දෙකකට පසුය.

එදිනම ව්‍යසන සමයේ ආහාර බෙදාහැරීම බාර ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ දිවයිනේ යුරෝපා ධූත මණ්ඩල නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවක් ඡායාරූප වලින් දිස් වුනේ “මීටරෙන් හිඳීමේ” නිර්දේශය රැකීමේ උත්සාහයක් ගෙන නැති බවයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජාතික මට්ටම සහ බිම් මට්ටම අතර එලදායී සම්බන්ධීකරණය මුලික අවශ්‍යතාවයක් බව පෙන්වා දෙන CCPSL විශේෂඥයන් අවධාරණය කරන්නේ විවිධ විශේෂඥ කණ්ඩායම් සහ සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල මේ සඳහා දායකත්වය සපයන බැවින් මෙම ක්‍රියාදාමයේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

එවැනි තත්වයක් තුළ ජාතික මට්ටමේ සහ බිම් මට්ටමේ කණ්ඩායම් අතරත්, රෝග ප්‍රතිකාර සහ නිවාරණ කාර්ය මණ්ඩල අතරත්, මේ එක් එක් කාණ්ඩයේ අනු කාණ්ඩ අතරත් වඩාත් ඵළදායි සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා නැවත පසු විපරමක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය ප්‍රකාශය මගින් අවධාරණය කර ඇත.

වසංගත වක්‍රය පැතලි කිරීම සඳහා ශ්‍රී ලංකාව දැනට සාර්ථක ලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙනෙන්නට ඇති මුත් රටක වසංගතය මැඩලීමේ සාර්ථකත්වය වඩාත් නිවැරදිව නිර්ණය කළ හැකි වන්නේ රටේ ස්වභාවය සහ විශේෂිත වූ තත්ත්වයන් සහ ජනගහණයේ මිලියනයකට සිදු කර ඇති කොවිඩ් 19 පරීක්ෂණ ගණන වැනි නිර්ණායක සමග සැසදීමෙන්ය යන්න එම සංගමයේ නිගමනයයි.

මේ සඳහා කොවිඩ් 19 වසංගත තත්වය පිළිබදව නිරන්තරයෙන් අවධානයෙන් සිටීමත් කාලීනව ප්‍රගතිය සමාලෝචනය කිරීමත් අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන එම සංගමය අප්‍රේල් 9 දා නිකත් කළ සිය දෙවන ප්‍රකාශය මගින් කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා යෝජනා හා ක්‍රම උපායයන් කිහිපයක් නිර්දේශ කර තිබේ.

රැකිය යුතු ශික්ෂා

  1. ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් වසංගත ප්‍රතිචාරය සමායෝජනය කිරීම

  2. පරික්ෂා කරනු, පරීක්ෂා කරනු, පරීක්ෂා කරනු (සැමවිටම පරීක්ෂා කරනු) – යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමෝපාය අනුගමනය කරන්න

  3. වසංගතයේ විකාශනය පිළිබඳව විද්‍යාත්මක පුරෝකථන

  4. අපේක්ෂිත අවස්ථා පදනම් කරගත් ප්‍රවේශය

  5. මුඛ ආවරණ පැළඳීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශකත්වය

  6. ස්වයං නිරෝධායනය සහ මධ්‍යස්ථානයන්හි නිරෝධායනය

  7. කොවිඩ් 19 රෝගීන් සඳහා සත්කාරය

  8. කොවිඩ් 19 නොවන අනෙකුත්රෝගීන් සඳහා සත්කාරය

  9. අගුළු දැමීමෙන් පිටවීමේ මග

  10. රෝගීන් හංවඩු ගැසීම / කොන් කිරීම (Disease Stigma) (සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මාධ්‍ය වෙත කොවිඩ්19 වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශයක)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button