දේශීය

කොරෝනා රටපුරා – පැණි පරීක්ෂණ කඩිනම් කරන්නැයි අගමැතිගෙන් නියෝග

දේශීයව නිර්මාණය කරන ලද කොවිඩ් වැළැක්වීමේ ඖෂධ / ප්‍රතිකාර යැයි කියනු ලබන නිෂ්පාදන පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ කමිටුවට උපදෙස් දී තිබේ.

ඒ අනුව, වෛද්‍ය හර්ෂ සුබසිංහ සහ ඉන්දිකා ජගොඩ විසින් සකස් කරන ලද ප්‍රතිකාරය සහ දේශීය ආයුර්වේද වෛද්‍යවරයකු යැයි තමාම කියාගන්නා ධම්මිකා බන්ඩාර විසින් සොයා ගන්නා ලද පැණිය ගැන පරීක්ෂා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා කමිටුවට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ ලෝකයේ දැනට සොයාගෙන ඇති කොවිඩ් -19 එන්නත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අගමැතිවරයා දැනටමත් පර්යේෂණ කමිටුවෙන් ඉල්ලා ඇති බවයි.

කෙසේ නමුත්, හෙට්ටිමුල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා යැයි කියනු ලබන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බවට වාර්තා වී ඇතැයි මෙම පැනිය සම්බන්ධයෙන්ිහළම ප්‍රචාරයක් ලබා දුන් දිලිත් ජයවීරට අයත් දෙරණ රූපවාහිනියේ සහෝදර පුවත්පත වන  ”අරුණ” පුවත්පත වාර්තා කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය දා පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.

කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.

‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ යැයි ‘අරුණ’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කළ බව එම පුවත්පත වාර්තා කරයි.

මේ පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය බවද සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව ද කියා ඇත.

කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරමය පානයක් ලෙස අනුමත කර ඇත.

මේ අතර, අද වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල කොරෝනා උප පොකුරු නිර්මාණය වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මූලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් වාර්තා වෙමින් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.කොළඹ මහ නගර සභා සීමාවේ උතුරු කොලඹ පැවති අර්බුදය මේ වන විට නගර සභා සීමාවේ අනෙක් සීමාවන් වලටද පැතිරෙමින් ඇතැයිද ඔහු පැවසීය.

කොරෝනා ආසාදිතයන් වාර්තා වීම පෙර පරිදිම සිදුවන බවත් පැවසූ ඔහු වසංගත රෝග විද්‍යාඥයන්, විශේෂඥ වෛද්‍යවරුන් වෛරසය සමාජ ගත වී නැතැයි පැවසුවද සත්‍ය තත්වය මෙය බවද තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button