දේශීය

හරක් මස් තහනම් කිරීමේ පොරොන්දුවට මාස තුනක් – ද.ආසියාවේ ලොකුම මස් ෆැක්ටරිය ලංකාවේ

දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලා වලින් එකක් ඊයේ (12) කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ (IPZ) විවෘත කරන ලදී.

මස් සැකසුම් කර්මාන්ත ශාලාව දේශීය ව්‍යාපාරිකයෙකුට අයත් අතර එය රු. බිලියන 1.5 ක ආයෝජනයකි. කර්මාන්තශාලාව පිහිටුවා ඇත්තේ මස් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපල අවශ්‍යතාවයෙන් 10% ක් සපුරාලීම අරමුණු කර ගනිමිනි.

කම්හල පිහිටා තිබෙන්නේ කටුනායක අයිපීඑස් හි අක්කර තුනක ඉඩමක ය.

මෙම කර්මාන්ත ශාලාව මගින් රැකියා අවස්ථා 300 ක් ලබා දෙන අතර සොසේජස්, මීට්බෝල්ස්, හැම්, බේකන් වැනි මස් නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර මාලදිවයින, මැදපෙරදිග රටවල් සහ ඉන්දියාවට සිය නිෂ්පාදන අපනයනය කිරීමට ඉලක්ක කර ඇත.

සමාරම්භක උළෙලට නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, කාංචන විජේසේකර, ඩී. වී. චානක, අරුන්දිකා ප්‍රනාන්දු සහ සිරිපාල ගම්පල්ත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.

කෙසේ නමුත්, අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මෙම විශාලතම මස් නිෂ්පාදන කර්මාන්තශාලාව මෙලෙස විවෘත කරනු ලැබූයේ සිය පියා වන අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ විසින් මෙරට හරක් මස් නිෂ්පාදනය තහනම් කිරීමේ යෝජනාවක් ගෙනැවිත් මාස තුනක් පිරෙන දවසේ වීම විශේෂත්වයකි.

එම යෝජනාව සම්බන්ධයෙන් රාජ්‍ය හිතවාදී මාධ්‍ය විසින් විශාල පොරොන්දුවක් ලබා දුන්න ද දින කිහිපයක් ඇවෑමෙන් එකී පොරොන්දුව පුස්සක් බවට පත් වූයේ, ‘ආණ්ඩුව ‍හරකුත් ඇන්දුවා’ යන සමාජ මාධ්‍ය ප්‍රතිචාර සමගිනි.

එකී යෝජනාව ක්‍රියාත්මක කිරීම මාසයකින් කල් දමන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය හමුවේ කියා සිටියත්, මේ වන විට එම මාසය ද අවසන් වී මාස දෙකකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button