දේශීය

කෝමාරිකා වවන්න පරිසර ඇමති චන්ද්‍රසේන විසින්ම විල්පත්තුව ප්‍රේරක කලාපය වනසයි

පරිසර හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ මුලිකත්වයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ ප්‍රේරක කළාපය තුල පිහිටි රාජාංගණය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සඳහා අක්කර 100 කට වැඩි ප්‍රදේශයක් විනාශ කරමින් සිටින බව ප්‍රදේශවාසීන් පවසයි.

‘වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය’ ලෙස නම්කර ඇති මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන්නේ ඕරා ලංකා හර්බල්ස් නම් සමාගමක් විසින් වන අතර එය දේශීය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින පුද්ගලයකුට අයත් සමාගමක් බවද සඳහන් වේ. මෙම පුද්ගලයා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සිදුකරන මුවාවෙන් පරිසර හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන සමඟ එක්ව රාජාංගණය යාය 18 නීති විරෝධී ඉඩම් අත්පත් කරගැනීමේ වෑයමක නිරතවන බවත්, ඒ සඳහා එන විරෝධය මැඩපවත්වා ගැනීම පිණිස එම ප්‍රදේශයේ ජනතාවට විවිධ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් ඔවුන් සතු බලපත්‍ර ඉඩම් අත්පත් කරගනිමින් සිටින බවත් වාර්තා වෙයි.

පරිසර හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන විසින්ම බුල්ඩෝසරයක් හසුරවමින් පරිසරය වනසනු දක්නට ලැබුණි.

මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 329 කටුපත් වැව වසමේ හා ඊට යාබද හොරුවිල, වනමල්ගම, ගල්කඩවල යන ප්‍රදේශ තුල සිදුකෙරෙමින් පවතින අතර එම ගම්මාන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ ප්‍රේරක කලාපය තුල සහ ආසන්නයේ පිහිටා තිබේ.

පරිසර සංවේදී කලාපයක සිදුවන මෙම ව්‍යාපෘතිය සඳහා කිසිඳු අවසරයක් මේ වන තෙක් ලබාගෙන නොමැති බවත්, අදාළ අමාත්‍යවරයාගේ බලය යුතු ලෙස භාවිතා කරමින් නීති විරෝධී ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය සිදුකරගෙන යන බවත් නිලධාරීන් පවසයි.

කෝමාරිකා ව්‍යාපෘති සමාගමේ හිමිකරු දොස්තර තාඹුගල නැමැත්තා අමාත්‍ය චන්ද්‍රසේනට භුමිය පෙන්වන අයුරු

පසුගිය 23 වන දින පරිසර හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යෝජිත කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා රාජාංගණය, යාය 18, පනන්කානීය ඇල හරහා අමුණු වේල්ලක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කළ අතර එහිදී පරිසර හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ විසින්ම බුල්ඩෝසරයක් හසුරවමින් පරිසරය වනසනු දක්නට ලැබුණි.

මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය ප්‍රදේශ වල අඩු අදායම්ලාභී ගොවීන්ට යම්කිසි ප්‍රතිලාභ ලැබෙන බවට මෙම ව්‍යාපෘතිය සිදුකරන පෞද්ගලික සමගම පවසා සිටින නමුත් මෙහි ඇති ගැටලුව එය නොවේ. ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පණත අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක හෙක්ටයාරයකට (අක්කර 2.4) වැඩි භුමි ප්‍රදේශයක් යම්කිසි සංවර්ධන කටයුත්තකට හෝ වෙනත් ව්‍යාපෘතියකට යොදාගන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කරන පරිදි මුලික පරිසර අධ්‍යයන වාර්තාවක් හෝ පරිසර හානි තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කොට, එය මහජන අදහස් විමසීමකට ලක් කර මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබාගත යුතු බව පරිසර සංවිධාන පවසයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සිදුකෙරෙන ප්‍රදේශය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුලට අයත්වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන අතර, එය ජාතික පාරිසරික පණත, වන සත්ව හා වෘක්ෂලතා අඥා පණත, වන සංරක්ෂණ අඥාපණත මගින් පනවා ඇති සීමා උල්ලංඝනය කිරීමක් බවත්, මෙම ප්‍රදේශය පුරාවිද්‍යා නටඹුන් බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයක් වන බැවින් එවන් ප්‍රදේශයක මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් සිදුකරන්නේ නම් පුරා විද්‍යා හානි ඇගයීම් වාර්තාවක් සකස්කොට පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අවසරය ලබාගත යුතු බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button