දේශීය

රෝහලක් නිසා දොඩංගොඩ කුණුවේ

කළුතර ප්‍රදේශයේ පිලිප් නැමති පුද්ගලික රෝහලකින් ඉවතලන සායනික අපද්‍රව්‍ය දොඩංගොඩ, නෑහින්න ,ගොඩහේනවත්ත ප්‍රදේශයට බැහැර කිරීම හේතුවෙන් එම රෝහලට විරෝධය පාමින් ප්‍රදේශවාසින් විසින් එම රෝහල ඉදිරිපිටදී ඊයේ (11) උද්ඝෝෂණයක් පැවැත්විය.

මෙම ප්‍රදේශයට එම රෝහලේ සායනික අපද්‍රව්‍ය තොග බැහැර කරන බවට එම ප්‍රදේශයේ ජනතාව විසින් දිගින් දිගටම රෝහල් බලධාරීන්ට හා කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සහා දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්වරයාව දැනුම්වත් කළද ඒ කිසිවෙක් ඊට නිසි ප්‍රතිචාරයක් ලබාදීමට පියවර ගෙන නැති බව ගම්වාසින් චෝදනා කරයි.

මෙලෙස සායනික අපද්‍රව්‍ය බැහැර කරනු ලබන ස්ථානයේ සිට මීටර් 50ක පමණ දුරින් වඩුගම ප්‍රජා මූල සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය ජාල ව්‍යාපෘතියක්ද පවතින අතර මේවනවිට පවතින වර්ෂාවත් සමඟ එම සායනික අපද්‍රව්‍ය ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වෙත එකතු වී ඇති බවට ගම්වාසින් චෝදනා කරයි.

එම රෝහල විසින් මීට පෙර මෙම සායනික අපද්‍රව්‍ය තවත් පුද්ගලික සමාගමක් වෙත ලබාදී ඇති අතර එම අපද්‍රවය රැගෙන යාම සඳහා එම සමාගම විසින් අයකරනු ලබන මුදල අධික වීම හේතුවෙන් රෝහල විසින් එම අපද්‍රවය ඔවුන් වෙත ලබා නොදී මුදල් වියදම් ඉතිරිකිරීම අරමුණු කර ගනිමින් එම අපද්‍රව්‍ය මෙලෙස නීති විරෝධී අයුරින් රහසිගතව බැහැර කර ඇති බව පැවසේ.

මේ සම්බන්දයෙන් ප්‍රදේශවාසින් දොඩංගොඩ පොලිසියටද පැමිණිලි කර ඇතත් පොලිසිය මෙම පාරිසරික හානියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැති බවද ප්‍රදේශවාසින් පවසයි.


ජනක විජේගුණතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button