දේශීය

අවුරුදු 40ක් තිස්සේ සංවර්ධනය නොකළ අබලන් මාර්ගය

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ පිහිටි මද්දෙගම සිට ජම්බුගහහේන, නාවලකන්ද, තල්පැදිවල, බෝගොඩකන්ද හරහා මීගහතැන්න දක්වා මාර්ගය (නාවලකන්ද පාර) 849-D බෝගොඩකන්ද ග්‍රාම සේවා වසම තුල පිහිටි ජම්බුගහහේන, නාවලකන්ද, තල්පැදිවල, බෝගොඩකන්ද, අළුකැටිය, දිග්ගල්ලෙන, බලගල ආදී ගම්මාන වල ජනතාවට මීගහතැන්න නගරය හා අනෙකුත් මාර්ග වලට සම්බන්ධ වීමට ඇති එකම මාර්ගය වේ. කිලෝමීටර 4.7 ක දිගකින් යුත් මෙම මාර්ගය ප්‍රදේශයේ පවුල් 300 කට අධික ප්‍රමාණයක වාසය කරන ජනතාවට රැකියා සඳහා යාම, පාසල් වෙත යාම ඇතුළු සියළුම එදිනෙදා ගමනා ගමන කටයුතු සඳහා යොදා ගැනීමට ඇති එකම මාර්ගය වන අතර ප්‍රදේශයේ වගා කරන වී, තේ, රබර්, කුරුඳු ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය නගරයට ගෙන යාමටද භාවිතා කිරීමටද ඇත්තේ මෙම මාර්ගය පමණි. තල්පැදිවල ප්‍රාථමික විද්‍යාලයට යාමට ඇති එකම මාර්ගය මෙය වන අතර නාවලකන්ද මිනිරන් පතල පිහිටා ඇත්තේද මෙම මාර්ගයේය.

විශාල පිරිසකගේ විශාල සේවා අවශ්‍යතාවන් සඳහා භාවිතා කලද මේ වන විට මෙම මාර්ගය දැඩි ලෙස අබලන් වී වාහන ගමනා ගමනය තබා පා ගමනින් හෝ ගමන් කිරීමට නොහැකි තත්වයට පත්වී ඇත. දශක 4 කට අධික කාලයක් පුරාවට මෙම මාර්ගය සංවර්ධනය කර දෙන මෙන් රාජ්‍ය ආයතන හා දේශපාලන අධිකාරීන්ගෙන් ඉල්ලීම් කලද ඒවා ඉටුනොවූ අතර මාර්ගය ඉදිකිරීම මැතිවරණ කාලයන්හි ජනප්‍රිය මැතිවරණ පොරොන්දුවක් බවට පමණක් විය.

එලෙස විශාල කාල පරාසයක් තුළ මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ අතිශය සාධාරණ ඉල්ලීම ඉටු නොවූ අතර විවිධ රජයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවට වූ පොරොන්දු පමණක් ඉතිරි විය. අවස්ථා කිහිපයකදී දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා අවස්ථා ගණනාවකදී මුල්ගල් තැබීම්ද සිදු කල අතර එම මුල්ගල් මේ වන විට සොයා ගැනීමට පවා නොමැත. තව දුරටත් නොතකා සිටිය නොහැකි අඛණ්ඩ ජනතා ඉල්ලීම් හමුවේ වත්මන් රජය බලයට පත්වීමත් සමග උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය මගින් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා අසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට මූලික කටයුතු සිදු කරන ලදි. ඒ නිසා ගම්වාසීන්ද ඉමහත් සතුටට පත්වූ අතර මාර්ග සංවර්ධනය ආරම්භවන දිනය, අවසානවන දිනය, කොන්ත්‍රාත්කරු වැනි විස්තර ඇතුලත් පුවරු දෙකක් මාර්ගය ආරම්භ වන මද්දෙගම සහ අවසාන වන මීගහතැන්න නගරයේ සවිකරන ලදි. එහි දැක්වෙන පරිදි කොන්ත්‍රාත් අංක : RDA/ADB/iROAD (WP) /NCB / CP – RR (KL2) යටතේ රුපියල් මිලියන 91.96 මුදලක් වෙන් කර ඇති අතර 2016/09/26 වන දින ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කර 2018/09/28 වන දින වැඩ නිමකිරීමට කාල සීමාවන්ද කොන්ත්‍රාත් සමගම් වලට වෙන් කර දී ඇත.

මාර්ගය හරහා කපා දමා අගල් මතට යකඩ තහඩු දමා ඇති අයුරු

දීර්ඝ කාලයක් ඉටු නොවී තිබුනු මෙම ව්‍යපෘතිය ආරම්භ කිරීමට රජය කටයුතු කිරීම නිසා සතුටට පත්වූ ජනතාව ඒ පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තබා තිබුනද ගම්වාසීන්ගේ සියළු බලාපොරොත්තු නැවතත් සුනුවිසුනු කරමින් මෙම මාර්ග සංවර්ධනය ආරම්භ නොවීය. බලාපොරොත්තු සුන්වූ ජනතාව, රජය මගින් සියළු සැලසුම් කර මුදල් වෙන්කර ආරම්භ කල මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලෙස බල කලමින් උද්ගෝෂණයක් ඇරඹීමට සූදානම් වූ අතර එහිදී ආදාල කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් රජයේ නිලධාරීන් හා දේශපාලන අධිකාරිය මාර්ගය කඩිනමින් ඉදිකරන බවට වූ පොරොන්දුව මත උද්ඝෝෂණය නවතා දැමුණි. කාලය ගතවූ නමුත් එය ඉටුනොවන බව පෙනුනු අතර ගම්වාසීන් නියෝජනය කරමින් ගම්මානයෙහි තරුණයකු විසින් තොරතුරු දැනගැනීමේ පනත හරහා මෙම මාර්ගය ඉදිකිරීමේ කටයුතු පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින ලදි.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත මගින් ඉල්ලූ තොරතුරු අනුව ප්‍රදේශයට වැසි වැටීම නිසා මාර්ගය ඉදිකිරීම ප්‍රමාද වූ බවත් නියමිත කාලය තුල අනිවාර්යෙන්ම ව්‍යාපෘතිය නිම කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු නිලධාරීන් විසින් නිල වශයෙන් තොරතුරු ලබා දීමද සිදුකරන ලදි. එලෙස නිල වශයෙන් ලබා දුන් තොරතුරු පිළිබඳ විශ්වාසය තැබූ නමුත් නිලධාරීන්ද තොරතුරු දැන ගැනීමේ පනතට පවා වංචා කරන බව ගම්වාසීන්ට හැඟී යන්නට වූ අතර මෙම ව්‍යාපෘතිය ඉටු නොවීම පිළිබඳ අවධානය යොමු කරමින් ගරු ජනාධිපති තුමා හා අගමැති තුමා ලිඛිතව දැනුවත් කිරීමටද ගම්වාසීන් කටයුතු කරන ලදි.

කපා දමා ඇති වලවල්

මේ පිළිබඳව පැමිණිලි කල හැකි ඉහලම ස්ථානය ගරු ජනාධිපති තුමා හා අගමැති තුමා වෙත පැමිණිලි කිරීම වූ අතර එයටද සාර්ථක පිළිතුරක් නොලැබුණි. මේ වන විට මාර්ගය භාවිතා කිරීම දැඩි අසීරු තත්වයකට පත්ව තිබූ අතර වයස් ගත වූවන්ට සහ කුඩා දරුවන්ට මාර්ගය භාවිතා කිරිමට නොහැකිම තත්වයට පත්වී තිබුනි. මේ නිසා දැඩි ලෙස පීඩාවට පත්වූ ගම්වාසීන් යලි දැවැත්ත උද්ගෝෂණයක් සිදු කිරීමට සැලසුම් කරන ලදි. එතෙක් නිහඬව සිටි දේශපාලඥයන් හා ගම්මානයේ වාසය කරන ඔවුන්ගේ නියෝජිතයන් කලබයලයට පත්වූ අතර ඔවුන්ගේ දේශපාලනයට සහ හිතවත් ‍කොන්ත්‍රාන්කරුට එය අයහපත් ලෙස බලපාන බැවින් ඔවුන් විසින් හොර රහසේම මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු අරඹන ලදි. මෙහිදී මාර්ගයට අවශ්‍ය කොන්ක්‍රීට් බෝක්කු ගෙනවිත් මාර්ගයේ ස්ථාන කිහිපයක ගොඩ ගැසිම සිදුකරන ලද අතර ස්ථාන කිහිපයක බෝක්කු දැමීම සඳහා විශාල වලවල්ද කපන ලදි. මේ නිසා මාර්ග සංවර්ධනය ඇරඹුනු බව විශ්වාස කල ගම්වාසීන් ඉමහත් සතුටට පත්වූ අතර උද්ගෝෂණයද නවතා දැමුනි. ගම් වාසීන් කෙතරම් සතුටට පත්වීද යත් රජය විසින් මුදල් ගෙවා ව්‍යාපෘතිය සමාගමට බාර දී තිබුනද එම සමාගමේ සේවකයන් මාර්ගයෙහි කටයුතු කරද්දි ගම්වාසීන්ද ස්වේව්ඡාවෙන් සිය ශ්‍රමය ලබා දීම සිදුකරන ලදි.

මෙයද ගම්වාසීන් රැවටීම සඳහා කොන්ත්‍රාත් සමාගම හා දේශපාලන නියෝජිතයන් ගත් උත්සාහයක් බව වැටහෙන විට ගම්වාසීන් ප්‍රමාද වී හමාරය. දින දෙකකින් සියළු කටයුතු නවතා දැමුනු අතර ගම්වාසීන් ගමන් කරන මාර්ගය හරහා කපා දැමුනු දැවැත්ත වලවල් කිහිපයක් ඉතිරි විය. අවසානයේ සිදු වූයේ දැඩි ලෙස අබලන්ව තිබුණු මාර්ගයට තවත් දැවැන්ත වලවල් කිහිපයක් එක් කර ගැනීම පමණක් විය. මින් එක් වලක් මාර්ගයේ බෑවුම් සහිත ස්ථානයක කපා ඇති අතර අඩි 10 පමණ ගැඹුරකින් යුක්තය. මේ වන විට ජලය පිරී ඇති මෙම ගැඹුරු වල මාරාන්තික අනතුරකට අත වනන්නකි. තවත් එක් ස්ථානයක මාර්ගය හරහා විශාල අගලක් කපා දමා ඇති අතර එය මතින් තහඩුවක් දමා ආවරණය කර ඇත. මෙම ස්ථානයද දැඩි අනතුරු දායක අතර මරණීය අනතුරක් සිදුවීමේ ඉහල සම්භාවිතාවක් පවතී.

මෙම රැවටීම් තම මූලික අවශ්‍යතාව ඉටු නොවීම නිසා ගම්වාසීන් දැඩී පීඩාවකින් යුතුව ජීවත්වේ. මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නම්කල නිලධාරීන්ගෙන් විමසන විට ඔවුන් පැවසුයේ මෙම ව්‍යාපෘතිය නවතා දමා ඇති බවත් නැවත ව්‍යාපෘතිය ආරම්භ කරන දිනයක් පැවසිය නොහැකි බව හා දැනට ඔවුන් සාකච්ඡා මට්ටමේ පවතින බවත්ය. අදාල කොන්ත්‍රාත් සමාගම මෙම මාර්ගය දෙපස මාරාන්තික අනතුරකට අතවැනීමට කපා ඇති විශාල වලවල් හා මාර්ගය හරහා කපා දමා ඇති අගල් වසා දැමීමට කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියද ඔවුන්ගේද යහපත් ප්‍රතිචාරයක් මේ වන විටත් ලැබී නොමැත.

මර්ගය සංවර්ධනය කරන බවට සවි කෙරු දැන්වීම් පුවරු

පැමිණිලි කල හැකි සියළුම පුද්ගලයන් හා ආයතන වලටද මේ පිළිබඳව දැනුවත් කල අතර තව දුරටත් ඉතිරිවී ඇත්තේ රට හමුවේ අපගේ දුක කීමට පමණි. කිහිප දෙනෙකුගේ වාසියක් වෙනුවෙන් ජීවිත දහසක් පමණ විඳින මේ පීඩාව නිමකර නාවලකන්ද ගම්වාසීන් හටද සතුටින් යුතුව ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩ නගා ගැනීම සඳහා හැකියාව තිබෙන සියළු දෙනාටම තම හඬ අවධිකරවන මෙන් නාවලකන්ද ගම්වාසීන් අයැද සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button