රෙදි වියන යන්ත්‍රයෙන් උපන් Toyota Model AA කාරය අතුරුදන්වීම හා යළි හමුවීම
මේක එක කතන්දරයක්. නමුත් ප්‍රබන්ධයක් නෙමෙයි. කතාව පටන්ගන්නේ ජපානයෙන්. අවසන් වෙන්නේ නෙදර්ලන්තයෙන්. ඒ අතරතුර අපිට අමෙරිකාව, සයිබීරියාව, රුසියාව වගේ රටවලත් පුංචි රස්තියාදුවක යන්න වෙනවා. ඉතින් ඔබ Toyota Lover කෙනෙක් නම් මේක දැනගන්නම ඕනෙ කතාවක්.
ජපානය කියන්නෙ පුදුම රටක්. ඒ රටේ මිනිස්සු හරි වෙනස්. එයාලට ඕනෙ අඩු කාලයක් තුළ හැකි තරම් වැඩ කරන්න. ඉතින් කාලය අපතේ යනවා කියන්නෙ එයාලට වහ කදුරු වගේ. මේ කියන්න යන්නෙ 1889 අවුරුද්දෙ ජපානයේ ජීවත් වුණු එක්තරා තරුණ කොලු ගැටයෙක් අපතේ යන කාලය කළමනාකරණය කරන්න ගිහින් බිහිවුණු ලොවක් වසඟ කළ නිර්මාණයක් ගැන.
ඔහු නමින් සකීචි ටොයෝඩා. සකීචිගේ මවගේ රැකියාව වුණේ රෙදි විවීම. ඉතින් ඔහුට තමන්ගේ මව රෙදි වියන්න මහන්සි වෙන හැටි දැකලා දුක හිතෙනවා. මොකද ඒ කාලෙ කෙනෙක් රෙදි වියනවා කියන්නෙ තෙහෙට්ටු වෙන, කාලය වැය වෙන සහ ශ්‍රමය අපතේ යන වැඩක්.
ඒ නිසාම සකීචි හොයනවා මේකට විකල්පයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔහු 1890දී පළවෙනි වතාවට ලීවලින් අර්ධ ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හදනවා. දැන් පෙරට වඩා මවගේ මහන්සිය වගේම ඇයට වැය වන කාලය, ශ්‍රමය අඩුයි. වැඩි රෙදි ප්‍රමාණයක් වියන්නත් පුළුවන්. නමුත් ඔහු එතැනින් ඒ කතාවට තිත තියන්නේ නම් නෑ.
ඔහු දිගින් දිගටම මේ යන්ත්‍රය නවීකරණය කරනවා. විවිධ අත්හදාබැලීම් කරනවා. ඒ නිසාම 1896 වෙද්දී ජපානයේ පළවෙනි වතාවට ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හදන්න සකීචිට පුළුවන් වෙනවා.
එක්දාස් නමසිය ගණන්වල මුල් කාලය වනවිට සකීචිගේ පුතා කීචිරෝ ටොයෝඩාත් මේ වැඬේට සම්බන්ධ වුණා. 1924 වසර වෙද්දී දෙන්නා එකතු වෙලා ජපානය තුළ පළවෙනි වතාවට අධිවේගී රෙදි වියන මැෂිමක් හදනවා. මේ මැෂිම නිසා එක මැෂිමකට එක ඔපරේටර් කෙනෙක් ගාණේ දාන්න වෙන අවශ්‍යතාව නැතිව යනවා. එක ඔපරේටර් කෙනෙකුට මැෂින් 30ක් විතර බොහොම පහසුවෙන් ක්‍රියා කරවන්න පුළුවන් වෙනවා. මේක තමයි Model G මැෂිම කියලා හඳුන්වපු එක. මේ මැෂිම ඉතාම නිවැරදිව රෙදි වියනවා වගේම වැරදීමකින් හරි මොකක් හරි ගැටලුවක් ආවොත් වහාම නවතිනවා. ඒ නිසා අපතේ යාම බින්දුවටම අඩු වුණා.
ඔය කාලය වෙද්දී සකීචිගේ පුතා කීචිරෝ තීරණය කරනවා Model G මැෂින් එකලස් කරන්න ඇමරිකාවේ වගේ මහාපරිමාණ එකලස් කිරීමේ ක්‍රමයක් ඇති කරන්න. ඉතින් තාත්තයි පුතයි එකතු වෙලා, බටහිර රටවල ක්‍රම ගැනත් හොඳට අධ්‍යයනය කරලා විධිමත් එකලස් කිරීමේ ක්‍රමයක් සහිත කර්මාන්තශාලාවක් ආරම්භ කරනවා. ඒ තමයි 1926දී පටන්ගත්ත Toyoda Automatic Loom Works ආයතනය.
ඒ කටයුතු ඒ විදිහට සිද්ධ වෙද්දී 1929 වසරේදී කීචිරෝ ටොයෝඩා යුරෝපයේ සහ අමෙරිකාවේ සංචාරයකට යනවා. ඒ තමන්ගේ කර්මාන්තශාලාවේ භාවිත වුණු තාක්ෂණයට අදාළ බලපත්‍රවල වැඩකටයුතු කිහිපයකට. ඉතින් ඒ ගමන ටොයෝඩා නිර්මාණකරුවන්ට නම් සාමාන්‍ය ගමනක් නෙමෙයි. ඒක ඔවුන්ට එක්තරා විදිහක ඉරණම් ගමනක්.
ජපානය මේ කාලය වෙද්දී ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව විශාල දියුණුවක් ලබපු රටක් නෙමෙයි. නමුත් අමෙරිකාවේ නම් මේ වෙනකොට ෆෝඩ් Model T එකේ කාර් මිලියන 15ක් විතර බිහිවෙලා ප්‍රඩක්ෂන් එක ඉවරත් වෙලා තිබුණේ. ඒ රටේ හැම පාරකම දකින්න ලැබුණේ කාර්. ඉතින් කාර් දැක්කට පස්සේ කීචිරෝට ඒ ගැන ලොකු ආසාවක් ඇති වෙනවා. ඉතින් ඒ ආසාවත් හිතේ කොනක තියාගෙනම තමයි ඔහු නැවත තමන්ගේ රටට එන්නේ.
ජපානෙට ආපු ගමන් කීචිරෝ කළේ අර Model G මැෂින් එකලස් කරන වැඩ යන අතරේම වාහන එන්ජින් හදන්නත් සැලසුම් සකස් කරන එක. මීළඟට ඔහු මේ අලුත් නිර්මාණය ටිකෙන් ටික ගොඩනගන්න පටන්ගත්තා. ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි ඔහුට එහි පළවෙනි Prototype එක 1935දී හදාගන්න පුළුවන් වීම. ඊට පස්සේ එහි අත්හදාබැලීම් කරලා අවුරුද්දකට පස්සේ පළවෙනි ප්‍රඩක්ෂන් කාර් එක එළියට දාන්න ඔහුට හැකි වෙනවා. ඒ තමයි අද අපි Toyota Model AA කියලා දන්න කාර් එක.
ඇත්තටම මේ කාර් එක ඒ කාලේ ඇමරිකාවේ ප්‍රචලිත වෙලා තිබුණු කාර්වලින් ආභාසය ලබලා හදපු කාරයක්. එහෙම නැත්නම් Chrysler ^DeSoto& Airflow කාර් එකට අතිශය සමාන නිමැයුමක් කිව්වොත් හරියටම හරි.
Automobile Catalogue වෙබ්සයිට් එකට අනුව කාර් එකේ මූලික ලක්ෂණ මෙහෙමයි.
බොඩි එක – සෙඩාන්, දොර 4.
එන්ජිම – 3389 cm3 (3.4L).
ගියර් – 3 Speed Manual.
පවර් එක – 62hp.
දිග – මිලිමීටර් 4780.
වීල් බේස් එක – මිලිමීටර් 2850.
ටොප් ස්පීඩ් එක – 100kmph (සමාගම කියන්නේ එහෙමයි).
මේ කාර් වර්ගය ටිකෙන් ටික විකිණෙනකොට 1937දී සමාගමට අලුත් නමක් දාන්න තරගයක් පවත්වනවා. ඒකෙන් තෝරාගත් නම තමයි Toyota Motor Co,. Ltd. කියන්නේ. මේක ජපන් භාෂාවෙන් ලියනකොට වාසනාවන්ත විදිහට ඉරි අටකින් ලියන්න පුළුවන් නිසා මේක තෝරගත්තා කියලයි www.toyota-europe.com වෙබ් සයිට් එකේ දැක්වෙන්නේ.
කීචිරෝගේ Toyota Model AA එකේ ප්‍රඩක්ෂන් එක ඉවර වුණේ 1942දී. ඒ වෙද්දී සමාගම මේ මොඞ්ල් එකේ කාර් 1,404ක් හදලා තිබුණා.
කොහොම නමුත් ඊට පස්සේ ටොයෝටා ආයතනය විවිධ වර්ගවල වාහන හදලා දියුණු වෙනවා. ජපානය මුළු ලෝකෙටම දෙන්න සුපිරි වාහන හදන රටක් බවට පත් වෙනවා. ඒ විදිහට ටොයෝටා සමාගමත්, රටක් විදිහට ජපානයත් කාලයත් එක්ක දියුණු වෙනකොට මේ මුල්ම Toyota Model AA කාර් 1404ම විනාශ වෙලා එකක් වත් ඉතුරු වෙලා නෑ කියන මතය හැමෝගෙම හිත්වල ස්ථිර වෙලා තමයි තිබුණේ. ඉතින් පස්සේ පරම්පරාවලට බලන්න මේකෙ ආකෘති හදන්න පවා ජපානයේ කෞතුකාගාරවලට සිද්ධ වුණා.
මේ අතරේ 2008 අවුරුද්ද තරම් මෑත කාලෙදී හරිම අපූරු සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ ආරංචියක් එනවා රුසියාවේ Vladivostok කියන නගරයේ Toyota Model AA ඔරිජිනල් කාර් එකක් තියෙනවා කියලා. මේ ගැන රුසියාවේ පත්තරේක ඇඩ් එකක් ගිහින් තිබුණේ Chrysler Airflow එකක් විකුණන්න තියෙනවා කියලා. කාර් එකේ ලියාපදිංචි සහතිකවල තිබිලා තියෙන්නෙත් එහෙමයි.
නමුත් ඒ රටේ අවුරුදු 25ක තරුණයෙකුට මේ වාහනය ඇත්තටම මොකක්ද කියලා හරියටම හඳුනාගන්න පුළුවන් වෙනවා. ඒත් වසර ගණනාවකට කලින් ලෝකයෙන් අතුරුදන් වෙලා තිබුණු මේ වගේ කාරයක් තවමත් තියෙනවා කියන එක ඩයිනෝසරයෙක් තවමත් ජීවත් වෙනවා කියනවා වගේ කවුරුවත් විශ්වාස නොකරපු කතාවක් වුණා. නමුත් මේක දැනගත්ත නෙදර්ලන්තයේ Louwman කෞතුකාගාරයේ කළමනාකාර අධ්‍යක්ෂ Ronald Kooyman මේ තරුණයාව සම්බන්ධ කරගෙන ඔහුගෙන් මේ ඓතිහාසික වටිනාකමක් තියෙන කාර් එකේ ඡායාරූප ගෙන්වාගෙන බලනවා. එතකොට තහවුරු වෙනවා මේක ඇත්තටම ඔරිජිනල් Toyota Model AA එකක් බව.
මේ කාරය තිබිලා තියෙන්නේ සයිබීරියානු ගොවියෙක් ළඟ. ලෝක යුද්ධ කාලේ ඉඳන්, අවුරුදු හැට ගාණක් තිස්සේ එයාගේ පවුලේ තමයි මේක තිබිලා තියෙන්නේ. පස්සේ කාලෙක මේක සයිබීරියාවෙන් රුසියාවේ Vladivostok නගරයට ගෙනැල්ලා තියෙනවා. ඒ නගරයේ තමයි අර ගොවි මහත්තයාගේ මුණුබුරා ජීවත් වුණේ. හැබැයි කාර් එක මොන කාලයේ ඔවුන් ළඟට ආවාද කියන්න ඔහු දැනගෙන හිටියේ නෑ. ඒ වගේම හමුවෙනකොට වාහනය ගොඩක් අබලං. යම් යම් වෙනස්කමුත් කරලා තිබුණා.
කොහොමෙන් කොහොම හරි කාර් එක Louwman කෞතුකාගාරයට අරගෙන යන්න අවශ්‍ය කටයුතු කරගන්න රුසියානු සංස්කෘතික අමාත්‍යංශයෙන් අවසර ලැබුණා. මේ වැඩ ටිකට මාස 7ක් විතර ගතවුණා කියලා ටොයෝටා වෙබ් සයිට් එකේ සඳහන් වෙනවා. අන්තිමට කෝච්චිවල සහ කන්ටේනර්වල නැගලා Toyota Model AA එකේ ඉතුරු එකම එක ඔරිජිනල් කාර් එක නෙදර්ලන්තයට ගේන්න ඔවුන්ට පුළුවන් වෙනවා.
ඉතින් මේක 1936දී හදපු මුල්ම කාර් සීයෙන් එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. කෙහොම නමුත් මේ කාරයේ අනෙක් සහෝදර කාර් 1403ම මේ වෙද්දී විනාශ වෙලාද, නැත්නම් තවමත් ලෝකයේ කොහේ හෝ සැඟවිලා තියෙනවද කියෙන එක නම් කවුරුත්ම දන්නේ නෑ. තියෙනවා නම් හොයාගන්න එක ඔබට භාරයි.
ඉසුරු සුධාරක දිසානායක