විශේෂාංග

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කල අපරාධ රාජ්‍යය

අපරාධ වලට එරෙහිව යුක්තිය ඉටු කිරීමට බලයට පත්වූ කිසිදු ආණ්ඩුවකට සැබෑ අවශ්‍යතාවක් තිබුණේ නැත. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ඊට කදිම උදාහරණයකි. මෙරට සිටි කීර්තිමත් විදේශ කටයුතු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කෙරුණේ දෙදහස් පහේ අගෝස්තු දොළොස්වැනිදා ය. ස්නයිපර් වෙඩික්කරුවකු විසින් කොළඹ හතේ පිහිටි සිය නිවසේදී කදිරගාමර් ඝාතනය කරන ලද අතර, විධිමත් විමර්ශනයකින් තොරවම එය එල්ටීටීඊය පිට පැටවිණි.

මේ ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවකු පමණක් අත්අඩංගුවට ගැනුණේ දේශපාලන බලපෑම් රැසක් නිසා නඩුව විසි වන්නට නියමිතව තිබියදී ය. පසුගිය ජුනි විසි දෙවැනිදා කොළඹ ජාතික රෝහලේදී වකුගඩු රෝගයෙන් ඔහු ද මිය ගියේය. කොළඹ මහාධිකරණයේ H/C/42/26/2008 අංකය යටතේ විභාග කෙරුණු කදිරගාමර් ඝාතන නඩුවද ඒ සමගම වසා දැමිණි.

මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක ම සැකකරුගේ නම මුත්තයියා සහාදේවන් ය. කදිරගාමර් ඝාතනයට දින කිහිපයකට පෙර ඒ අසල නිවසක අත්තක් කැපීම නිසා කුලී වැඩ කළ සහාදේවන්ව දෙදහස් හයේදී අත්අඩංගුවට ගැනිණි. දෙදහස් දහ නවය දක්වා වූ වසර දා හතරක් ඔහු ගත කළේ රක්ෂිත බන්ධනාගාරයේ ය. පොලිසියේ පහර දීම නිසා දත් හතරක් කැඩුණු ඔහුගෙන් පාපොච්ඡාරණ ලියවිල්ලකට අත්සන් ගැනිණි. සිංහල හෝ දෙමළ හෝ කියවන්නට නොදත් ඔහුට එම ලියවිල්ලේ තිබුණේ කුමක්දැයි තේරුණේ නැත. එහෙත් කදිරගාමර් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේ ඔහුට නඩු පැවරිණි.

අඩු තරමේ සහාදේවන් අත්ත කැපූ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගැනීමට පොලිසිය කටයුතු කළේ නැත. හලාවත ප්‍රදේශයේ වෙල් යායක තිබූ තුවක්කුවක් ඝාතන අවිය ලෙස සඳහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහෙත් එල්ටීටීඊය කිසිදු අවස්ථාවක කොළඹ ප්‍රහාර සඳහා යොදාගත් ගිනි අවි නැවත උතුරට ගෙන යෑමේ අනුවණ ක්‍රියාව නොකළ බව ආරක්ෂක විශේෂඥයෝ අවධාරණය කරති. කදිරගාමර් ඝාතනයට ලක්වූ ස්නයිපර් තුවක්කුව කිඹුලා ඇළේ ගුණා නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා සතුව තිබුණු බව අනාවරණය වුවද, ඊට අදාළ වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍ය උපදෙස් විමර්ශකයන්ට නොලැබිණි. ඒ වෙනුවට සිදු කෙරුණේ විමර්ශකයන් මාරු කිරීම ය.

නීත්‍යනුකූල අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් වූයේ දෙදහස් හතර වසරේදී ය. එහෙත් බහුතරයේ අදහස වූයේ කදිරගාමර්, මහින්ද පරයමින් ඉදිරියට එන බවයි. මෙම සංවාදය යන අතරේ කදිරගාමර් ඝාතනය කෙරිණි. අහිංසකයකු දහ හතර වසරක් සිර කොට තබා, අවසානයේදී ඝාතකයන් සඟවමින් නඩුව සදහටම වසා දැමිණි.

නැවත නැවතත් කිව යුතුය. ඔබ තවදුරටත් විශ්වාස කරමින් සිටින්නේ සියල්ලන්ගේ එකඟතාවයෙන් යුක්තිය මිහිදන් කළ මහින්දලා සහ රනිල්ලා ය. නැතහොත් ඔවුන්ගේ රූකඩ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button