දත් අල්ලාගෙන, කඳු අල්ලාගෙන, ගස් අල්ලාගෙන බෞද්ධයන් යන ගමන් මග
මේ දවස්වල සිරීපාදේ ප්‍රශ්නයක් ය. බෞද්ධයන් තමන්ට ඉන්න එකම ශාස්තෘවරයාට හිමි තැනක් ලෙස සිරීපාදය නම් කරති. හින්දූන් ද, ඉස්ලාමිකයන් ද, සිරීපාදය තම තමන්ගේ අාගමට අයත් ශාස්තෘවරයාගේ පා අඩියක් සිරීපාදේ සටහන් වී ඇති බව පවතසති.
ලෝකයේ ආගමික කාරණා මත පදනම්ව විවිධ ස්ථානයන් විවිධ ශාස්තෘවරයන්ට අයත් යැයි ඓතිහාසික තොරතුරු වලිං ඔප්පු කර පෙන්වති. ඒක අවුලක් නැත. ඒවා සංස්කෘතික කාරණාය. එක් බෞද්ධ රටක(නම මතක නැත) තපස්සු භල්ලුක වෙලඳ දෙබෑයන් බුදුන් වහන්සේ ලබාදුන් කේෂ ධාතු තැන්පත් කරමින් චෛත්‍යයක් සාදා ඇති බවයි. එම කතාවම ලංකාවේ අප ද පවසයි. ඒ ගිරිහඬු සෑය මුල් කරගනිමිනි. කෙසේවෙතත් ආගමිකයන් එහෙමයි. තමන්ගේ එක මේකය, තමන්ගේ එක මාරය. වැනි කතා කීමට ඔවුන් ආසාය. නිරාගමිකයන්ට ශාස්තෘවරයෙකු නැති වීම පිළිබඳව මම සතුටුවන්නේ එනිසාය. එහෙම හිටියානම් ලොව සිව්දිග ඒකාගේ දත්, හම, පොරෝපු රෙදි, ඇදපු ලන්කට්, බීපු සුරුට්ටුවෙ අළු යැයි පවසන නිරාගම සරණ කරගත් ආගමිකයන් බිහිවනු නො අනුමානය.
ආගමිකයන්ගේ පිහිට ආගමික නායකයන් කියා ඇති දේවල් නොවේය. ආගමිකයන් රැගෙන යන්නේ ද ආගමිකයන් පවසා ඇති දේවල් නොවේය. අර වගේ භෞතිකව ගත හැකි ධාතු වැනි දේය. මක්කම ඇත්තේ බුදුන්වහන්සේ ගේ පතුලක් යැයි කියන බෞද්ධයන් තම දර්ශනය අතහැර ඒවයේ අලගිය මුලගිය තැන්ම හොයමින් ඉතිහාසඥයන්ගේ වගකීම බාරගෙන ඇත. වුන්ට ඇත්තේ ඒවා කෙරෙහි මාරම ආශක්ත බවක්ය.
ජය ශ්‍රී මහා බෝධිය යට සිට අඩියක් ගැසීමේ ආශාව ඇති ඩබ්ලිව් ජයසිරිට එලව එලවා පහර දෙන්නේ එනිසාය. නුවර දළදා මාලිගාව වටා බාබකිව් දමන කඩ වසා දමන්නට උත්සුක වන්නේ එනිසාය.
මම ද දළදාව වැඳ ඇත. සිරීපා කරුණා කර ඇත. ජය ශ්‍රී මහා බෝධිය වැඳ ඇත. ඒවා සංස්කෘතිකමය කාරණාය. මිසක් මේක වෙන්න. අරක දෙන්න යැයි කියමින් මම ඒවා වැඳ නැත. දළදාවට හෝ සිරීපාදය, ජයශ්‍රී මහා බෝධියට පාඩුවේ ඉන්ඩ නොදෙන බෞද්ධයන් ඊට අයිතිවාසිකම් කියන්නට එන අන්‍යාගමිකයන්ගේ ආශාවන්ට පහර පිට පහර ගසති. සියල්ල අත් හරින්නැයි බුදුන් දෙසූ දහම අවධාන ගණිකා සේවයේ යොදවති.
සිරීපාදයේ හිංදු අඩියක් තිබුන ද, දළදාවේ ඌරු දතක් (එහි ඇත්තේ බුදුන්ගේ දන්ත ධාතුවක් බව මට විශ්වාසය) තිබුන ද පාඩුවේ ඉන්නට පුරුදු වන සාමයික බෞද්ධයන් පිරිසක් අපට නැත. ඔවුනට තම ඒකායනය වන නිවන් මාර්ගය සළසා ගැනීමට ඒවා බාධාවක් නැති බව නොතේරෙන්නේය. ආගමිකත්වය යනු දරුණු ලෙඩකි. එය වැළඳුන මිනිසුන්ට අන් අයව නොපෙනෙති.
ආගම තුළින් සියළු මිනිසුන්ට හැඳියාව, සදාචාරය, ශිෂ්ඨත්වය අද නොමැති වන්නේ කුමක් නිසාදැයි මට නොතේරෙන්නේය.
සිංහල බෞද්ධයනි,
මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරද්දී මිහින්තලයේ සිට රාජ මාලිගාව දක්වා තුබූ ආගමික විශ්වාසයන්ට අතුල් පහරක් වෙමින් බුදු සමය ස්ථාපිත කරන විට ඒ ආගමිකයන්ට රිදෙන රිදුමේ දිග පළල දැන් දැන් ඔබට තේරෙන්නට පටන් ගෙන ඇතැයි මම සිතමි. මිහිඳු හිමියන් ඒ ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වැනි හිනායන කතා දැන් නොපවසන්න. ඔබ අනෙකාට ඇති ජීවත් වීමේ අයිතිය පවා නැති කරමින්, අනෙකාගේ අදහස් වලට ගරු නොකරන මිනිසුන්ය. එවන් වූ අවස්ථාවක් ගෙවමින් සිටින බෞද්ධයන් ට මිහිඳු හිමියන් ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් පුරසාරම් දෙඬීමට හැකියාවක් නැත.
ගස් බඳා වැළඳ ගනිමින්, දත් බදා මැඳ ගනිමින්, පර්වත තරණය කරමින් ඔබ නිවන සොයා යනවානම් එය අවුලකි.
සාමයික සුවපහසුව පිණිස තම තමන්ගේ පාඩුවේ සිංහලයාට ද, දෙමළාට ද, හම්බයාට ද, ක්‍රිස්තියානි කාරයාටද සිරිපාව වැද දැක බලාගැනීමේ අවස්ථාව සහ අනිකුත් පසුබිම් ලබා දෙන්න. ඒවා අහිංසක ආගමිකයන්ගේ සින්තටික් ආසාවන් බව බෞද්ධ ඔබ සිහියේ තබා ගන්න.
සංස්කෘතික කාරණා මත පදනම්ව ඒවා රැක ගැනීම, ඒවා පිළිබඳ පුරාවිද්‍යා කරුණු සොයා ගැනීම අප හැම කෙනෙකුගේම යුතුකමකි. ඒවා රටක අනන්‍යතාවය ලෝකයට රැගෙන යන කාරණාය. ඒවා වෙනුවෙන් අප සැවොම පෙනී සිටිය යුතුය. ඒවා විනාශ නොවිය යුතුය. නමුත් එ්වා රැකීම, ඒවා ගැන කතා කිරීම ජාතිවාදී හෝ ආගමික පදනමකින් නොකරන්න. සිංහල ජාතිය, බෞද්ධ ඔබ ආරක්ෂා වෙන්න. මිනිස්කම් ගැන වැඩි වැඩියෙන් සිතන්න.
ඔව් මම බෞද්ධ භික්ෂුවක්
ගුරුගොඩ සිරිවිමල හිමි