දේශීය

රට පුරා රජයේ පාසල් හිස් වෙයි….

ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති, රජයේ විධායක සේවා නිලධාරින්ගේ සංගමය, දුම්රිය වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති විසින් වැඩවර්ජන ක්‍රියාත්මක කර තිබේ.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංගමය හා අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බොහෝ පාසල්වල අද අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් අඩාලවී ඇති අයුරු දක්නට ලැබුණි.

පාසල්වලට සිසුසිසුවියන්ගේ පැමිණිමද ඉතා අවම තත්ත්වයක පැවති අතර පැමිණි සිසුන්ද කෙටි වේලාවකින් නැවත තම නිවෙස් කරා පිටත්ව ගියේ සිරිත් පරිදි ඉගැන්වීම් කටයුතු සිදු නොවූ නිසාය.

හැටන්, කොත්මලේ තලවාකැලේ යන අධ්‍යාපන කලාප බල ප්‍රදේශවල ගුරුවරුන් වැඩි පිරිසක් අද දින සේවයට වාර්තා නොකර විදුලි පණිවිඩ මගින් ලෙඩ නිවාඩු වාර්තා කර තිබුණි.

මේ අතර දඹුල්ල ප්‍රථමික විද්‍යාලය, දඹුල්ල ජාතික පාසල, වීර මොහාන් ජයමහා විද්‍යාලය ආදී දඹුල්ල ප්‍රදේශයේ සියලුම පාසල්වල අද (26) දිනයේ සිසුන්ගේ පැමිණිමේ විශාල අඩුවක් දක්නට ලැබිණි.

දඹුල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුදරුවන් එක්දහස් දෙකක් අධ්‍යාපනය ලබන බවත්, අද දිනයේ සිසුන් දෙදෙනෙකු පමණක් පාසලට පැමිණි බවත්, දඹුල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසීය.

එසේම අද (26) දිනයේදී දඹුල්ල ප්‍රථමික විද්‍යාලයේ කිසිම ගුරුවරියක් හෝ ගුරුවරයෙක් පාසල් නොපැමිණි බවද විදුහල්පතිවරයා සඳහන් කළේය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල්වල තත්ත්වයද මෙවැනි ස්වභාවයක් වන අතර මෙම ගුරු විදුහල්පති වැඩවර්ජනය හෙට දිනයේද ක්‍රියාත්මකය.

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට දුමරිය වෘත්තීය සමිති වැඩවර්ජනයක්ද ආරම්භ කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් විසින් ආරම්භ කර තිබෙන වැඩවර්ජනයට මේ වන විට දින 16ක් ගත වී තිබෙන නමුත් මෙතෙක් ඊට ද විසඳුම් ලැබී නැත.

රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය විසින් අද සහ හෙට දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය රටේ පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අත්හිටුවා ඇති නමුත් ලබන 30 වැනිදා සිට එම වැඩවර්ජනය ආරම්භ කිරීමට නියමිතය.


චමත් කාවින්ද – හැටන්
කේ. ක්‍රිෂාන්තන් – තලවකැලේ
ලක්ෂික සංදීප – දඹුල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button