විශේෂාංග

මාගල්කන්දේ සුදත්ත කියන පරිදි දුමින්ද සිල්වා අහිංසකද?

“දේශපාලන පළිගැනීම මත සිරගත කළ දුමින්ද සිල්වා වැනි අහිංසකයන්ට ඉතා හැකි ඉක්මනින් ජනාධිපති සමාව දිය යුතුයි”

යනුවෙන් මාගල්කන්දේ සුදත්ත නම් බුද්ධ චීවරයට නිඝා දෙන චීවරධාරියෙක් කළේ යැයි කියන ප‍්‍රකාශයක් මුහුණුපොතෙහි ප‍්‍රචාරය වේ.

මේ ප‍්‍රකාශය ඇත්තක් නම් එයින් අධිකරණයට අපහාසයක් සිදුවන බව පෙනී යයි. එනම් මහාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අධිකරණවලින් දුමින්ද සිල්වා වැනි කුඩු මත්ද්‍රව්‍ය මාෆියාවේ මහා මොලකරුවෙකුට ලබා දුන් දඬුවම දේශපාලන පළිගැනීමක් නිසා සිදුවූවකි.

කරුණු කොහොම වූවත් මේ වනවිට දුමින්ද සිල්වා අපරාධකාරයෙක්ය. ඔහුගේ අහිංසකකම හෝ නිවැරදිභාවය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ යුතුව තිබුණේ අධිකරණ ක‍්‍රියාදාමය සිදුවෙද්දීය. ඒ සඳහා අවශ්‍ය තරම් කාලයද, ශ‍්‍රී ලංකාවේ දක්ෂ සහ ප‍්‍රසිද්ධ නීතිඥවරුන්ගේ සහායද දුමින්ද සිල්වාට නොමඳව තිබුණි. එසේ තිබියදී දැන් මාගල්කන්දේ සුදත්ත නමැති චීවරධාරියා මේ කැසකවන්නේ කුමකටද? දේශපාලන පළිගැනීමට මුවාවී දුමින්ද සිල්වා නිදහස් කරගැනීමට සිදුකරන උප්පරවැට්ටියකි. අනෙක මේ සෙල්ලම මෙතනින් නතර කරන්නක්ද නොවිය හැකිය. ඉන්පසුව සිරගතවී සිටින තවත් අපරාධකරුවන් රැසක් නිදහස් කරගැනීමට මේ චීවරධාරියා පමණක් නොව, බෞද්ධ දර්ශනය විනාශ කරන දේශපාලන බළල් අත් වී සිටින අනෙක් චීවරධාරීන්ද පෙළගැසෙනු නොඅනුමානය. ඒ අතරම මේ චීවරධාරියා දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ඉල්ලා සිටින්නේ සැබැවින්ම තමන්ගේ වුවමනාවටද? නැතිනම් කාගේ හෝ බලල් අතක් ලෙසටද? යන්නත් සැකසහිතය.

වත්මන් ආණ්ඩුව බලයට ගෙනෙන්නට ශ‍්‍රී ලංකාවේ බහුතරයක් භික්ෂූන් පෙරමුණ ගත් රාවණා බලය, සිහල රාවය වැනි සිංහල බෞද්ධයන්ගෙන් පමණක් සංවිධාන ගතවුණු සංවිධාන එම ජයග‍්‍රහණයේ පෙරමුණේ රාළලා වූයේය.

මේ සියලූදෙනා එක හඬින් මුරගෑවේ මේ රට සිංහල බෞද්ධයන්ගේ බවය. ජනාධිපතිවරණ ජයග‍්‍රහණයත් සමග ඔවුන්ගේ මතය තහවුරු කරගෙන තිබේ. අපරාධ සිදුකළ යුධ වීරයන් අධිකරණයට පැමිණවීම මෙන්ම ඔවුන්ට දඬුවම් ලබාදීමද බරපතළ වරදක් බව මොවුන්ගේ අදහසයි. ජනාධිපතිවරණයට පෙර සිටම ගෝඨාභය රාජපක්ෂද පැවසුවේ යුධ වීරයන් සිපිරිගෙයට යැවීම අනුමත නොකරනවා සේ ම ඔවුන් අපරාධ චෝදනාවලින් නිදහස් කරන බවය. ඊළඟට සිදුවීමට නියමිතව ඇත්තේ එයය. ඉදින් පසුව විවිධ අපරාධවලට සිරගතවී සිටින දේශපාලන අතවැස්සන්ද නිදහස් කරගැනීමේ උද්ඝෝෂණ මෙන්ම ඉල්ලීම්ද පෙරහැරේ ඒමට නියමිතය.

එදා බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අද සනාථ වෙමින් ඇත. ඒ තමන්ගේ දර්ශනය අනාගතයේ විනාශ කරනු ලබන්නේ තමන්ගේම අනුගාමිකයන් බවය. නමුත් ගැටලුව ඇත්තේ මාගල්කන්දේ සුදත්ත යනු බුදුන්ගේ අනුගාමිකයෙක් ද යන්නය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button