විශේෂාංග

වෘත්තිය අතැර ආගමික ගල් ගුහාවට රිංගා ගැනීම

සොක්‍රටීස් ගේ පටන් සල්මන් රුෂ්ඩි, තස්ලිමා නස්ලීම් දක්වාම බොහෝ දෙනෙක් මානව වංශකතාවේ තම නම රඳවාගෙන ඇත්තේ ආගමික අන්තවාදයට එරෙහිව වඩාත් ශිෂ්ට සම්පන්න ලෝකයක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටිය, පෙනී සිටින නිසාවෙනි.

එසේ නොමැතිව තමන්ගෙන් සමාජයට සුලුවෙන් හෝ විය යුතු සමාජ දායකත්වය අතහැර ආගමික අඳුරු ගල් ගුහා තුලට වී නිද්‍රා සුවයේ සැතපුන නිසා නොවේ.

ලංකාවේ තත්වය මීට තරමක් වෙනස් වුවත්, ආගමික අන්තවාදී වහන්තරාවන්ට මුවා වී වීරයින් විය හැක්කේ සුලු කලකට පමනක් බවත්, ඉතිහාසය විසින් මේ පුහු වීරයින් විනිශ්චයට ලක් කරන බවත් අප වටහා ගත යුතුය.

අධිකරනයක් තුල සම්පූර්ණයෙන් මුහුන ආවරනය කර ගෙන කෙනෙකුට චූදිතයෙකු හෝ සාක්ෂිකරුවකු ලෙස පෙනී සිටීමට ඉඩ නොදෙන්නේ ආගමික විරෝධයක් හේතුවෙන් නොව , පිලි ගත් නීති පද්ධතියක් තුල ඇති කරගත් නෛතික හා සිද්ධිමය දෝෂ හැකි තාක් පිටු දැක , නිවැරදි විනිශ්චයයන්ට ඉඩ හැරීම පිනිසය.

විශේෂයෙන් ශරීරයට කරන භාහිර වෛද්‍ය ප්‍රතිකාර වැනි දෑ සිදු කිරීමේදී වෛද්‍යවරයාට රෝගියාගේ මුහුනෙන් පල වෙන ප්‍රතිචාර සහ සනික වෙනස්වීම් වැදගත් වන්නේත් එලෙසමින් ය.

එසේම බොහොමයක් රෝගීන්ට දෙන ප්‍රතිකාරවලට අමතරව, වෛද්‍යවරයා විසින් දක්වන කාරුනිකභාවය, මිත්‍රශීලීබව, පමනක් නොව ඔහුගේ ආදරනීය සිනාව හා කතාවද , රෝගය සුව වීමට බලපාන බව තහවුරු වූ සත්‍යයකි.

එසේ වෛද්‍යවරයාගේ මුහුනේ ඇති ප්‍රසන්න හැඟීම දැන ගැනීමටනං රෝගියාට ⁣අඩුම තරමේ වෛද්‍යවරයාගේ මුහුනවත් පෙනෙන්නට තිබිය යුතුය.

අනෙක් අතට තමන්ට ප්‍රතිකාර කල වෛද්‍යවරයාගේ නම ගම නොදන්නවා වුවද, මට ඒ බේත බොන්ඩ කීවේ අන්න අර අහවලායැයි කීමට රෝගියෙකුට හෝ ඔහුගේ භාරකාරයෙකුට හැකියාව තිබිය යුතුය.

කෙනෙක් තමංගේ අනන්‍යතාවය හඳුනා ගත නොහැකි ලෙස නීතිඥයකු හෝ වෛද්‍යවරයෙකු ලෙස මිනිසුන්ගේ ජීවිතයට හා මරනයට සෘජුව බලපාන කාරනාවලදී හා අදාල පරිශ්‍රයන්හී ප්‍රසිද්ධියේ හැසිරෙන්නේනම් එයින් ජනිත වීමට නියමිත ප්‍රතිඵල භයානකය.

බුර්කාව කෙනෙක්ගේ ආගමික ඇඳුමක් විය හැකිය.එය ප්‍රශ්න කිරීමට ⁣පිටස්තර ආගමිකයෙකුට අයිතියක් නැත.

එහෙත් රෝහලක වෛද්‍යවරයෙක්, උසාවියක නීතීඥවරයෙක් ලෙස අදාල පරිශ්‍රයන්ට පිවිසෙන විට , මේ ආගමික වහන්තරා ඉවත් කර ගෙන පැමිනීමට ඔවුන් වග බලා ගත යුතුය.

නීති උපාධියක් හෝ වෛද්‍ය උපාධියක් ලබා ගත්තාට මෙරට කිසිම බෞද්ධ භික්ෂුවකට හුදෙක් චීවරය පිටින් පැමින , නීතීඥ වෘත්තියේ හෝ වෛද්‍ය වෘත්තියේ නියැලිය නොහැක.

ඒ සරල සත්‍යවත් තේරුම් ගත නොහැකිව බුර්කාවක් නිසා සිය වෘත්තිය අතහැර ආගමික ගල් ගුහාවට රිංගා ගත් මැයට අනුකම්පා කරනවා මිසක, මගේ ලෝකය තුලනම් ඇය වීරවරියක් නොවේ.


නීතීඥ වසන්ත සිරි වටගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button