පුරවැසි කොළම

මහින්ද රාජපක්ෂ, සිංහයා, මාධ්‍යය හා මිලිටරිකරණය

2009 ප්‍රභාකරන් මැරෙද්දි මං ශිෂ්‍යත්ව පන්තියේ හිටියෙ. ඒ කාලේ මට දැනුනේ මහින්ද රාජපක්ෂ කියන්නේ සිංහයෙක් වගේ කියලා. මට එහෙම දැනෙන්න හේතුව අපේ අම්මවත්, තාත්තවත් නෙවේ. මොකද ඒ කාලේ අපේ අම්මා යූඇන්පී, තාත්තා ජේවීපී. ඒ මොනවා වුනත් එයාලා අපි එක්ක දේශපාලනය ගැන කතා කලේ නෑ. මට මතකයි ඉස්සර තාත්තා යාලුවෝ එක්ක දේශපාලනය කතා කරද්දි මං හොරෙන් අහන් ඉන්නවා. එතකොට අම්මා කියනවා ඒවා ලොකු අයගේ කතා කියලා.

එතකොට මට ඇයි එහෙම මහින්ද රාජපක්ෂ කියන චරිතේ අවුරුදු දහයෙදි සිංහයෙක් වගේ පෙනුනේ. ඒකට හේතුව තමා ඒ කාලේ ටීවි චැනල්වල මහින්ද රාජපක්ෂ කියන චරිතේ තමා මේන් රෝල් එක වෙලා තිබ්බේ. එතකොට මං හිතුවා මේකත් එහෙනං අර කාටුන්වල, ෆිල්ම්වල වගේ වීරයෙකුයි , දුෂ්ඨයෙකුයි ගැන කතාවක් කියලා. මහින්ද රාජපක්ෂ වීරයා, ප්‍රභාකරන් ද්‍රෝහියා. අන්න එහෙමයි අපි වගේ පොඩි උන්ගේ මොළ හැදුනේ පොඩි කාලේ. තව ඒවට ගොඩක් සිංදුත් බලපෑවා. මට මතකයි “උතුම් ධජෙන් සෙවණ ලබා…, අප්පච්චි අප්පච්චි ඔබයි අපේ අප්පච්චි…, ආයුබෝවේවා මහරජානෙනී….” වගේ සිංදු. මේ සිංදුත් එක්ක අපි පාරවල් දිගේ මහින්ද රාජපක්ෂගෙ ලොකු බෝඩ්, පෝස්ටර් දැක්කා. කොහොමහරි මේ විදිහට මහින්ද රාජපක්ෂ කියන සිංහයා වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් ඒ කාලේ මං ලෑස්ති වෙලා හිටියා. ඒ තරමට ලංකාවේ මාධ්‍ය, කලාව මේ හැමදේම අපේ ඔලුවල මහින්ද රාජපක්ෂ කියන චරිතේ සිංහයෙක් කලා.

මට මතකයි හය වසරෙදි පුස්තකාලේ සමාජිකත්වය ගත්ත ගමන් කියෙව්වේ කොටි ගැන, ප්ලොට් එක ගැන, ප්‍රභාකරන් ගැන, යුද්ධෙ ගැන තිබ්බ හෙණ ලොකු පොත්.

ඒ කාලේ ඉස්කෝලේ යද්දි මං හැමදාම පාරේ ඉන්න ආමි එකේ අයව ගැන ගැන එන්නේ. උදේට යද්දි ඉන්න ගාන පොතක් පිටිපස්සෙ ලියාගන්නවා. ආපහු හවස එද්දි නවත්තපු තැනින් ආපහු ගනින්න පටන් ගන්නවා.
පොඩි වුනත් අපේ මානසිකත්වය තනිකරම හැදිලා තිබ්බේ මහින්ද රාජපක්ෂ කියන්නේ සිංහයෙක්, එයා වෙනුවෙන් මුළු ලංකාවම වුනත් මරාගෙන මැරෙන්න ඕනේ, දෙමළ මිනිස්සු තනිකරම කොටි, ඕකුන්ව පෙති ගහන්න ඕනේ වගේ මානසිකත්වයක්. මේ ඔක්කොටම හේතුව ඒ කාලේ මාධ්‍යය, කලාව, දේශපාලනය අපිට පෙන්නපු දේවල්. අපේ ඔලු තනිකරම මිලිටරිකරණය වෙලා තිබ්බේ. අපි සෙල්ලම් කලේ හමුදාකාරයන්ගේ සෙල්ලම් බඩු, තුවක්කු වගේ දේවල් එක්ක, කියෙව්වේ හමුදාව ගැන, යුද්ධය ගැන තියන පොත්, ඇහුවේ මහින්ද රාජපක්ෂ කියන චරිතේ ගැන ගහපු සිංදු.

යුද්ධෙ අන්තිමට අත් දැකපු කොටස තමා අපි. අපෙන් එහාට පරම්පරාවට යුද්ධය ගැන මහ ලොකු මතකයක් නෑ. අපිටත් ලොකු මතකයක් නැති වුනාට යුද්ධෙ සක්‍රීයම කාලේ අපිට හොදට මතකයි. අලිමංකඩ බේරගන්නවා, තොප්පිගල බේරගන්නවා, පුනරින් බේරගන්නවා, පුතුකුඩියිරිප්පු බේරගන්නවා, මුලතිව් බේරගන්නවා, නන්දිකඩාල් බේරගන්නවා මේවා ඔක්කොම අද වගේ මට මතකයි.

ඉතින් අද වෙද්දි ආපහු අපේ මිනිස්සු හමුදා පාලනයක්, මිලිටරි පාලනයක් ඉල්ලන තැනකට පත් වෙලා. විශේෂයෙන්ම මේ දාසයේ, දාහතේ පොඩි එවුන් අද වෙනකොට හමුදා පාලනයක් ඉල්ලන තැනට පත්වෙලා. මේවට හේතුව තනිකරම ලංකාවේ චැනල්කාරයෝ, සමහරක් සමාජ ජාලා ගිණුම්.

මට මේ පොඩි උන් හමුදා පාලනයක් ඕනෙයි කියනකොට මතක් වෙන්නේ අපේ පොඩි කාලේ අපේ මානසිකත්වය හමුදා පාලනයකට තිබ්බ කැමත්ත.

පහු කාලෙක තමා අපිට තේරෙන්නේ අපිව පොඩි කාලේ මාධ්‍යයෙන් කොච්චර මොට කරලද තිබ්බේ කියලා. ඒ විතරක් නෙවේ අපිව අදහන්නෝ, බැතිමත්තු, වහල්ලු කරලා තිබ්බේ.

මේකට ෆිදෙල් ක්‍රැස්තෝ හොද කතාවක් කියලා තිබ්බා. ෆිදෙල් කියනවා “මං කැමති මගේ ජාතිය අදහන්නන් කරන්න නෙවේ. හිතන්නන් කරන්න” කියලා.

මාත් අන්න එතනයි ඉන්නේ. දේශපාලනයේ, මාධ්‍යයේ, කලාවේ කාර්‍යය වෙන්න ඕනේ ඒ රටේ, ඒ සමාජේ ඒ ජාතියේ ඉන්න මිනිස්සු අදහන්න කරන එක නෙවේ. හිතන්නන්, හොයලා බලලා ඉගෙනගන්නන් ඉන්න ජාතියක්, සමාජයක්, රටක් කරන එක. අදහන්නන්, මොට්ටයින් ඉන්න රටක්, ජාතියක් කවදාවත් කිසිම අතකින් සංවර්ධනය වෙන්නේ නෑ. ඒක අනිවාර්යය සත්‍යයක්.


ක්‍රිස් ටෙලන් සියඹලාපිටිය

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close