මධූෂ් ඝාතනය – ඝාතකයින් පළායාම සහ අපරාධ මෙහෙයුම් ඇණ හිටීම
මාකදුරේ මධූෂ් ඝාතනය වී අද (4) දිනට සති දෙකකි. පොලීසියට අනුව මධූෂ්ගේ ඝාතනය සිදු වූයේ මධූෂ් විසින් ලබා දුන් ඉතාම වැදගත් අපරාධ තොරතුරක් පිළිබද විමර්ෂණයට යාමේ දී, එහි සිටි නාදුණන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකිනි.
මොහොතකට පිළිගමු
මධූෂ්ගේ ඝාතනය සිදු වූයේ එසේමැයි කීමට හෝ එසේ නොවේ යැයි කීමට අපට සාක්ෂි නැත. නමුත්, එසේ වූ පමණින්ම පොලීසිය කියන කතාව ගෙඩි පිටින් ගිලින්නට නම් අප සිත් නොදේ. මන්දයත්, පොලිස් ආටක නාටක අප මින් පෙර ඕනෑ තරම් දැක ඇති නිසා, ඒ ඔස්සේ හට ගන්නා සැක සංඛා සෑම විටම පොලිස් කතා දෙස සැගයෙන් බැලීමට අප පොළඹවනු ලබයි.
අප මොහොතකට පොලීසියේ කතාව පිළිගතහොත්, අපට දැන් ප්‍රශ්නයක් උද්ගත විය යුතුය. පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු වූ මධූෂ් ඝාතනය කරනු ලැබූ එකී වෙඩික්කරුවන් තවමත් ආයුධ සන්නද්ධව සිටිනුයේ සමාජයේ නිදැල්ලේ හැසිරෙමිනි. පොලීසිය ඉදිරියේ ම මධූෂ්ට වෙඩි තබා පොලිස් ඇසට වැලි ගසා පැණ ගියා යැයි කියන එකී වෙඩික්කරුවන් තබා අවම වශයෙන් ඔවුන්ගේ ආයුධයක්වත් තවමත් සොයා ගැනීමට පොලීසිය සමත්ව නැත. එහි දක්නට ඇත්තේ අසමත් කමකටත් වඩා, අකා මකා කොට අමතක කෙරූ බවකි.
සාමාන්‍ය අපරායක් හෝ ඝාතනයක් මෙන් නොව, පොලිස් අත්අඩංගුවේ සිටින අයෙකු පොලීසිය ඉදිරියේම ඝාතනය වීම හා ඝාතකයින් පොලිසියෙන් මිදී පළායාම හා දින දාහතරක් යන තුරුත් පොලීසියට ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ අවම වශයෙන් ඔවුන් කවුරුන්දැයි අනාවරණ කර ගැනීමට පවා නොහැකි වීම පොලීසිය පැත්තෙන් ගත් විට දරුණු ලැජ්ජාවකි. පොලීසියේ දුර්වලතාවකි.
චිත්‍රපට අධ්‍යක්ෂකට වුවමනා තැනින් අවසන් වුවත්, යථා ලෝකයේ දේ අධ්‍යක්ෂවරයකුට වුවමනා තැනින් නතර නොවිය යුතුය.
මධූෂ්ගෙන් පසු
මධූෂ්ගේ මරණය මාධ්‍ය වාර්තා කළේ සහ පොලීසිය ඊට උඩගෙඩි දුන්නේ, ප්‍රභාකරන්ගේ මරණය හා සමාන මරණයක් වාගේය. ඔව්. පොලීසිය කියන (නමුත් තවමත් උසාවියක ඔප්පු කරන්නට හැකි වී නැති) මධූෂ්ට ඇති චෝදනා කවදා හෝ උසාවියක ඔප්පු කළේ නම් ඔහු ප්‍රභාකරන් තරම්ම නැතත් දරුණු අපරාධකාරයෙකි. නමුත්, අවාසනාවකට කරුණ නම් මධූෂ් මිය යන්නේ ඒ කිසි වරදක් පිළිබද තබා අවම වශයෙන් ට්‍රැෆික් නඩුවකටවත් වරදකරුවකු නොවී වීම කණගාටුවට කරුණකි.
කාරණය මෙයයි. ප්‍රභාකරන්ගේ මරණයත් සමග එල්ටීටීඊය හාන්සි වී අවසන් ගමන් ගියා වාගේම මධූෂ්ගේ මරණයත් සමග පාතාලය හා කුඩු ජාවාරම ද අවසන් ගිය බවක් දක්නට ලැබේ. එවැන්නක් මවනු ලැබ ඇත. වෙනදාට ප්‍රමුඛ පුවත කර ගනිමින් විකාශය වූ නාට්‍යානුගත කුඩු ඇල්ලීම් දැන් රූවාහිනී ප්‍රවෘත්තිවල නැත. ගාමිණී ෆොන්සේකා හා විජේ කුමාරතුංග පරයන රංගනයක නිරත වූ දේශබන්දු හා රෝහණ යුගල දැන් ටෙනිසන් කුරේ හා බන්දු සමරසිංහ මෙන් දෙපිළ බෙදී විහිළුකාර ‘වලි රංගනයක‘ නිරත වෙමින් සිටිනවා මිස, මෙතෙක් කල් තිබූ සීරියස් රංගන දැන් දකින්නට නැත.
අනුප්‍රාප්තිකයා බලවත්ද
අප දන්නා පරිදි ලෝකයේ කිසිම ජාවාරමක් අවසන් වන්නේ නැත. ඒවා එකෙකුගෙන් තවත් එකෙකුට පත් වීම පමණක් සිදු වේ. ලංකාවේ බරපතලම කුඩු ජාවාරම්කරුවා මධූෂ්ම යැයි අප මොහොතකට සිතුවොත්, දැන් මධූෂ්ගේ අනුප්‍රාප්තිකයෙක් නියත වශයෙන්ම සිටිය යුතුය. මධූෂ් කළ ජාවාරම් පවත්වාගෙන යන කෙනෙක් සිටිය යුතුය. ඒ කවුද.. සහ පොලීසිය හෝ මාධ්‍ය ඒ ගැන උනන්දු නොවන්නේ ද.
මුහුද යටින් හෙමින් සීරුවේ ආ කුඩු දැන් එන්නේ මුහුද දෙබෑ කරගෙන ද, නැතිනම් මුහුදෙන් හෙරෝයින් තියා මූදු හුළගකත්වත් නොයෙන තරමට මේ ජාවාරම හාන්සි වී තිබේද. නොඑසේ නම් දැන් ජාවාරම සිද්ධ වන්නේ අස්පර්ෂණීය හා ඉන්විසිබල් ලෙවල් එකෙන්ද.
කිලෝ ගණනින් නොව ටොන් ගණනින් ආ කුඩු දිනපතා අල්ලනු දැක ඇති අපට පසුගිය සති දෙකේ දී දක්නට ලැබුණු දරුණු පසු බැසීම කොරෝනා නිසා යැයි කල්පනා කරන්නට පුළුවන. නමුත්, එය එසේම දැයි දන්නේ දෙවියෝ පමණි.
ආණ්ඩුව බැරිනම් ග්‍රාමසේවක කෙනෙක් හෝ කුඩු අල්ලා, අපරාධ මැඩලා රට සාමකාමී සුඛිත මුදිත කරන්නේ නම් අප අත් දෙකම ඔසවා ඊට සහාය දිය යුතුය. ඒ වාගේම ඔවුන්ට ඒවාට බාධා එන්නේ නම් ඒවා ගැන සොයා බැලීමද නීති ගරුක පුරවැසියන්ගේ යුතුකමකි.