දේශීය

බකමුණ සභාව මින්නේරිය රක්ෂිතය වනසයි…!

ලංකා පුවත්පත ඇසුරින්

බකමුණ ප්‍රාදේශීය සභාව මගින් මින්නේරිය – ගිරිතලේ රක්ෂිතයට කසළ බැහැර කිරීම නිසා බරපතළ වන විනාශයක් සිදුවෙමින් තිබේ.

බකමුණ සහ දඹුල්ල අතර පිහිටි, රක්ෂිතයේ අලින් මාරු වන ප්‍රධාන ස්ථානයක් අසල විශාල ප්‍රදේශයක මෙසේ කසළ බැහැර කිරීම සිදු කෙරේ. දඹුල්ල එළවළු වෙළඳපොලේ කසළ මෙන්ම සංචාරක හෝටල් වල අපද්‍රව්‍ය ද මෙම ස්ථානයට ගෙනවිත් දමන බව අප කළ විමර්ශනයකදී අනාවරණය විය. එසේම අදාළ කසළ පිළිස්සීම නිසා බරපතළ වායු දුෂණයක් ද සිදු වන අතර, මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී විරෝධය පළ කර ඇතත්, මෙතෙක් මෙම නීති විරෝධී ක්‍රියාව නතර කර නැත.

මේ සම්බන්ධයෙන් අප බකමුණ ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක නලින් කුමාරගෙන් කළ විමසීමකදී ඔහු එවැන්නක් සිදු කිරීමට තම සභාව කටයුතු කරන බව පිළිගත්තේය. දිනපතා ටොන් දෙකකට ආසන්න කසළ ප්‍රමාණයක් තම ප්‍රාදේශීය සභාව මගින් රක්ෂිතයට මුදා හරින බවත්, ඊට හේතුව තමන්ට කසළ බැහැර කිරීමට නිශ්චිත ස්ථානයක් නොමැති වීම බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සියලු ආණ්ඩු වලට අවශ්‍ය වන්නේ වැඩියෙන් කොමිස් ලැබෙන දැවැන්ත ව්‍යාපෘති පමණක් බව පෙන්වා දෙන සභාපතිවරයා, අවස්ථා ගණනාවකදී කසළ ප්‍රතිචක්‍රියකරන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට මුල්‍ය ප්‍රතිපාදන ඉල්ලා ඇතත්, මෙතෙක් එය කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ බවද අවධාරණය කළේය.

ලංකා පුවත්පත – මේක නීතිවිරෝධී කටයුත්තක් සභාපතිතුමා ?

බකමුණ ප්‍රා.ස. සභාපති – ඔව්. මං ඒක දන්නවා. එත් මොනවා කරන්නද.

ලංකා පුවත්පත – වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන මොකද කියන්නේ ?

බකමුණ ප්‍රා.ස. සභාපති – ඒ ගොල්ලොන්ටත් මේක තේරෙනවනේ. ඒ ගොල්ලෝ විරුද්ධ වුණාට කරන්න දෙයක් නෑ.

ලංකා පුවත්පත – ඒත් මේකෙන් රක්ෂිතයට, අලි ඇතුළු සමස්ත සත්තුන්ට වෙන්නේ විශාල හානියක් ?

බකමුණ ප්‍රා.ස. සභාපති – එහෙම කියලා මං බකමුණ ටවුන් එක මැද්දෙ කුණු ගොඩ ගහන්නද. මට එහෙම කරන්න බෑ.

ලංකා පුවත්පත – පරිසර කමිටුව ඇතුළු දිස්ත්‍රික් නිලධාරීන් රැස් වන තැන් වලදී ඔවුන් මොකද කියන්නේ ?

බකමුණ ප්‍රා.ස. සභාපති – ඉක්මනට මොනවා හරි කරමු කියනවා. ඒත් කිසිම දෙයක් වෙන්නේ නෑ. දැන් කියන්නේ මේ පාර අයවැයෙන් සල්ලි අවට පස්සේ හදමු කියලා. මිනිස්සු එක්ක ඉන්න ඕනෙ මමනෙ.


සමන් ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button