දේශීය

කිරි පැකට් ලක්ෂයක් අඹේවෙල ගාල් කරලා

දියර කිරි මිලදී ගැනීම සිදු කරන රාජ්‍ය ආයතනයක් වන මිල්කෝ ආයතනය මගින් නිෂ්පාදනය කර, වෙළඳපොළේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ දියර කිරි පැකට් එක් ලක්ෂ තුන් දහසක් අඩංගු ඇසුරුම් පටවන ලද ලොරි 11 ක් 2018 අගෝස්තු මාසයේ සිට අඹේවෙල කිරි නිෂ්පාදනාගාර භුමියේ ගාල් කර තිබේ.

මෙසේ ගාල්කර ඇති එක් ලොරි රථයක කල් ඉකුත්වූ දියර කිරි සහිත ඇසුරුම් ඇති බවත්, එම ලොරි රථයට එහි කළමනාකාරිත්වය විසින් මුද්‍රා තබා ඇති බවත් සඳහන් කරන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, ඉතිරි කිරි පැකට් තොගයද මෙම පෙබරවාරි මාසයේදී කල් ඉකුත්වීමට නියමිත බව අවධාරණය කර සිටී. මිල්කෝ ආයතනයේ දුර්වල කළමනාකාරිත්වය නිසා පසුගිය වසර කිහිපය තුළ කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කිරීම නතර කර ඇති බවත්, දියර කිරි ලීටර් ලක්ෂ හතරක නිෂ්පාදන ධාරිතාවක් ඇති දිගන, නාරාහේන්පිට, අඹේවෙල, පොළොන්නරුව යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය තුනෙන් එකක් දක්වා පහත වැටී ඇති බවද එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දෙයි.

මිල්කෝ ආයතනයට ලබාදෙන දියර කිරි සදහා කිරි ගොවීන්ට මුදල් ලබාදීම සති ගණනාවක් ප්‍රමාද කිරීම නිසා මේ වන විට එම ආයතනයට දියර කිරි සැපයීමෙන් ගොවීන් ඉවත්වෙමින් සිටින බවත්, 2015 වසරේදී කිරි ලීටරයක් සදහා ගෙවූ මුදල මේ වන තෙක් ඉහළ දැමීමට ආයතනය අපොහොසත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


වසන්ත මොහොට්ටාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button