බුද්ධ රූප ඇඳුම් ඇඳීමේ වරද මොකක්ද…?

බුදුන්ගේ යයි කියන රූපයක් (මුහුණ) සහිත සාරියක් ඇන්දයි කියා හාමුදුරු කෙනෙකුගේ අණට පොලීසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගියදා, ත්‍රිකුණාමලයේ දීය.

මේ බුදුන්ගේ රූපයක් යයි සිතමු. නමුත් එහෙම රූපයක් තියෙන ඇඳුම් අඳින්න බැහැ කියලා ලංකාවේ නීතියක් තියෙනවද…? තාප්පවල අලවන පෝස්ටර්වල, සමහර අත් පත්‍රිකාවල මුද්‍රණය කරලා ඒවා බිම වැටිලා පෑගෙද්දිත් ප්‍රශ්ණයක් නැතිනම්, ඇයි ඇඳුමක තිබුනම ගැටලුවක් වෙන්නෙ…?
ශ්‍රී ලංකාවේ දැන් තියෙන්නෙ සංඝ පොලීසියක්ද…? මේක බෞද්ධ ඉරාණයක්ද කියලා අපි අහන්න කැමතියි.
මේ බුදුන්ගේ මුහුණ නෙමෙයි, මේ ජෛන මහා වීරගේ මුහුණ කියලා කෙනෙක් තර්ක කලොත්, මේ හාමුදුරුවරු සහ පොලිසිය මේ විදියට පියවර ගන්නේ කොහොමද කියන එකයි.

අනෙක් කාරණාව කවුද බුදුන් දැකලා තියෙන්නේ කියන එකයි. එහෙම තත්වයක් තියෙද්දී මේ බුද්ධ රූපයක් කියලා හරියටම කියන්නෙ කොහොමද කියන එකයි. අනෙක් කාරණාව බුද්ධ රූපවල, පිළිමවල ස්වරූපය ස්වභාවික මනුස්ස පෙනුමක් නැහැ කියන එක කාටත් තේරෙන දෙයක්. නමුත් බුදුන් කියන්නෙ මේ ලෝකයේ ජීවත් වුනු පුද්ගලයකු නම් ජීව විද්‍යාත්මකව ඔහු සාමාන්‍ය රූපයක් හිමි අයෙකු විය යුතුයි (ජානමය විකෘති නැතිනම්) නමුත් සාමාන්‍ය රූපයක් හිමිව තිබුනා යයි සිතන පුද්ගලයෙකුගේ රූපය, බුද්ධ රූපවල පවතින ලෙස අසාමාන්යකරනයට ලක් කිරීම පිළිබඳව කිසිවෙකු කතා කරන්නේ නැහැ…. ඒ බුද්ධ රූපවල නිර්මාණාත්මක සංස්කෘතිය නිසා සහ, ජාති ආගම්වලින් උරුම කරදී ඇති සංස්කෘතිය නිසායි.
මේ හාමුදුරුවන්ගේ සහ පොලිසියේ අත්තනෝමතික ක්‍රියාවෙන් අදාල කාන්තාවගේ මානව හිමිකම් කඩවුනා යයි අප සිතන්නෙමු. එය නීත්‍යානුකූලව එසේම සිදුවී ඇතිනම් මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මානව හිමිකම් සම්බන්ධව අදාල අංශ පියවර ගත යුතුය.
රෝවන් ප්‍රනාන්දු