පුරවැසි කොළම

මොකක්ද අයිසෙ ඔක්සිජන් නැතුව ළමයින්ට කරන්න පුළුවන්‍ සෙල්ලම…?

ඔන්න ඔය තිත්ත ඇත්ත කෙළින්ම කියල දානවා අයිසෙ වටවංගු, උපමා උපමේය, ව්‍යංගාර්ථ මළහත්තිලව් නැතුව… මේ රටේ මිනිස්සුන්ට විහිළු කතා කියල – හීන කතා ලියල වටෙන් ගොඩෙන් මේවා කියල හරියන්නෙ නැහැ අයිසේ… කෙළින්ම කියනවා, වෙලා තියෙන කෙළිය… කෙළින්ම ලියනවා, මුන් දෙගොල්ලො එකතු වෙලා ගහන තක්කඩි ගේම…

ඔබට මතක ද පසුගිය සතියට පෙර සතියේ අපට හමු වූ ‘අයිසෙ අන්කල්’ව? ඔව්, අද උදේ ම මගේ ජංගම දුරකථනයට ආ ඇමතුම, ආන්න ඒ ‘අයිසෙ අන්කල්’ගෙනි. මා “හලෝ” කියන්නටත් පෙර ඔහු පටන් ගත්තේ දෝස්මුරයකි.

“තුන්වෙනි පිටුවට තමුසෙ ලියන ආටිකල් එක බර මඳි කියල හිතෙන්නැද්ද අයිසෙ…?”

“ඕක කියන්න ද අන්කල් මේ උදේ පාන්දරම කෝල් කෙරුවේ…?”

“ඒක කියන්න නෙමෙයි අයිසෙ, ඒක අහන්න ගත්තෙ…”

“බර කියන දේ සාපේක්ෂයි අන්කල්… අන්කල්ට බර මඳි දේ තව කෙනකුට බර වැඩි වෙන්න පුළුවන්…”

“නෑ එහෙම නෙමෙයි අයිසේ, මේ… තමුසෙට මේ වෙලාවේ පොඞ්ඩක් කතා කරන්න පුළුවන් ද…? පොඞ්ඩක් මම කියන දේ අහගෙන ඉන්න පුළුවන් ද…?”

“පුළුවන් අන්කල්… කියන්න…”

“මෙහෙමනේ අයිසේ, ඔය උපහාසාත්මකව කියන දේවල් වුණත් හැමෝටම තේරෙන්නෙ නැහැ නේ… සමහර දේවල් තියෙනවා කෙළින්ම ඇරලා දාන්න ඕන ඒවා.”

“අන්කල් කියපු කාරණාවේ පොඩි පරස්පරයක් මට පේනවා…”

“මොකද්ද අයිසෙ පරස්පරේ…?”

“අන්කල් මුලින් කිව්වා, බර මඳි කියලා… දැන් කියනවා හැමෝටම තේරෙන්න ඕන කියලා… එතැන පොඩි පටලැවිල්ලක් තියෙනව නේ ද…?”

“මේක පාසල් විවාද තරගයක් නෙමෙයිනේ අයිසෙ… තමුසෙ කැමති නැද්ද මම කියන දේට පොඞ්ඩක් ඇහුම්කන් දෙන්න…”

“කැමතියි අන්කල් කැමතියි… අන්කල් කතා කරන්න”

“මම කෙළින්ම කතාවට බහින්නම්.. දැන් බලනවා රටේ ආර්ථිකයට මොකද්ද වෙලා තියෙන්නෙ කියල… මූල්‍ය ආයතන ගණනාවක් කඩන් වැටිලා… තමුසෙත් ඒ ගැන යාන්තම් ලිව්වා තමයි අයිසේ… ඒ වුණාට ඒ ගැන යාන්තම් ලියල මඳි… ටිකක් බරපතළෙට ලියන්න ඕනෑ… රටේ මුදල් ඇමති ලෝකෙටම ඇහෙන්න කියනවා ආර්ථිකය බංකොළොත් කියලා… මොන ලැජ්ජාවක් ද අයිසේ… ආර්ථිකය කඩන් වැටෙනවා කියන්නේ, පොඩි මිනිහා සෙත්තපෝච්චි අයිසේ… ලොකු එවුන්නං හරිහම්බ කරගත්ත දේවල්වලින් මොකක්හරි ගේමක් ගහයි… මූල්‍ය ආයතන වැටෙන කොට ආර්ථිකය වැටෙනවා, ඒ වැටිල්ල වළක්වා ගන්න තව ණය ගන්නවා… ණය ගෙවන්න තව ණය ගන්නවා… එහෙම කරලත් බැරි වෙන කොට තව බදු වැඩි කරනවා.. දැනට මූනිච්චාවට දීල තියෙන බදු සහනවලට බඩු හම්බ වෙනවා… බඩු මිල හඳට යනවා… ජීවන වියදම නෙප්චූන්වලට යනවා… සාක්කුව බෝක්කුව වෙනවා… එතකොට හිටියටත් වඩා පොඩි මිනිහට කෙළවෙනවා… ඔන්න ඔය තිත්ත ඇත්ත කෙළින්ම කියල දානවා අයිසෙ වටවංගු, උපමා උපමේය, ව්‍යංගාර්ථ මළහත්තිලව් නැතුව… මේ රටේ මිනිස්සුන්ට විහිළු කතා කියල – හීන කතා ලියල වටෙන් ගොඩෙන් මේවා කියල හරියන්නෙ නැහැ අයිසේ… කෙළින්ම කියනවා, වෙලා තියෙන කෙළිය… කෙළින්ම ලියනවා, මුන් දෙගොල්ලො එකතු වෙලා ගහන තක්කඩි ගේම…

“ඒ විතරක් නෙමෙයි ලියනව කො අයිසෙ අර රන්ජා ගැන වචනයක්… ඒ යකා තමුසෙලාගෙ දේශපාලනේ එක්ක මෙලෝ සම්බන්ධයක් නැති බව ඇත්ත… ඒ වුණාට මිනිහා කට ඇරලා කිව්ව නෙ අයිසේ,

‘ඒ ගොල්ලො යාළුවො මල්ලි, අපට තමයි මේ ඔක්කොම’ කියල. අරුන් දෙගොල්ලො එකට කන බොන, පාටි දාන විදිහ, මහ උන්ගෙ පන්තියෙ එකෙක් අමාරුවෙ වැටුණම පක්ෂ භේද නොබලා උන් උන්ව ආරක්ෂා කරගන්න විදිහ අමුවෙන්ම කියල දැම්මෙ රන්ජා විතරයි නෙ අයිසේ… රන්ජා සර්වසම්පූර්ණ මිනිහෙක් නෙමෙයි තමයි… මිනිහගෙත් විවිධ දුර්වලකම් තියෙනවා… රන්ජගෙ තරහකාරයෝ ඔක්කොම අපේ තරහකාරයෝ කරගන්න අවශ්‍ය නැහැ… ඒ ඔක්කොම ලෙඩ අපි දා ගන්න ඕන නැහැ… ඒක ඇත්ත… ඒත් අයිසෙ, මිනිහ කොන්දක් තියෙන හාදයෙක්… අන්න ඒකට අපි රෙස්පෙක්ට් කරන්න ඕනෑ… අද වීරයා හෙට පීචං වෙන්න ඉඩ තියෙනවා, හැබැයි කෙළින් කතා කරන එකා තනි කරන්න දෙන්න හොඳ නැහැ… අද රන්ජා හිරේ විලංගුවෙ වැටිලා… ඒත්, මිනිහගෙ පක්ෂෙ එවුන්වත් මිනිහ ගැන කතා කරන්නෙ නැහැනෙ අයිසේ… ඇයි ඒ ? උන්ගෙ තියෙන අවස්ථාවාදීකම… රන්ජා කිව්වෙ ඇත්ත කියල උනුත් දන්නවා… ප්‍රජාතන්ත්‍රවාදේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ, අරකෙ මේකෙ මුර දේවතාවෝ වගේ රඟපෑවට ඕකුන් පට්ට තක්කඩි අයිසේ… මොකද? උන් බබාලා නෙමෙයි නෙ අයිසේ… අන්න ඒවා ගැනත් වචනයක් හරි ලියනව අයිසෙ තමුසෙලාවත්…

“දැන් බලනවා අර ඊයේ පෙරේදා වෙච්චි සිද්ධිය… මම මේ කියන්නේ අර ගම්පහ සිද්ධිය… කඩොලාන කපලා සෙල්ලම් පිට්ටනි හදන්න හදන කේස් එක… අර වනජීවී ඒකෙ ගෑනු ළමයා ඉතාම විද්‍යාත්මකව පැහැදිලි කරනවා පාරිසරික තත්ත්වේ.. ඒ ළමයා පැහැදිලිව කියනවා නීතියට පිටින් මුකුත් කරන්න බැහැ කියල.. මූලාසනේ ඉන්න ඇමතිට කියන දේ තේරෙන්නෙ නැහැ.. මේක දූපතක්ලු‍… ඔක්කොම රකින්න බැහැලු‍… බලනවා ඊට පස්සෙ ඇමති තියපු ප්‍රෙස් කොන්ෆරන්ස් එක… ඉස්සෙල්ල ළිඳෙන් නාල ඊට පස්සෙ ෂවර් එකෙන් නානව නෙ අයිසේ… ඒ අස්සෙ එකෙක් කියනවා, ඔක්සිජන් ඕන නෑලු‍ ළමයින්ට සෙල්ලම් කරන්න, පිට්ටනිය තියෙනවා නං ඇතිලු‍… මොන රටක් ද අයිසෙ මේක… මුන් කාගෙ දරුවො ද අයිසෙ… මොකක්ද අයිසෙ ඔක්සිජන් නැතුව ළමයින්ට කරන්න පුළුවන් සෙල්ලම…? මේවා මේ විදේශ බලවේග හරි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හරි නෙමෙයි නෙ අයිසෙ… කාලයක් තිස්සෙ මේ රටේ අධ්‍යාපනයෙන්, ජනමාධ්‍යවලින්, අරකෙන් මේකෙන් හදපු එවුන්නෙ අයිසෙ මේ… මුන් දෙගොල්ලො අවුරුදු හැත්තෑවක්, අසූවක් රට පාලනය කරලා හදපු නල්ලමලේ ජනතාව ද අයිසෙ මේ…? පොඞ්ඩක් හිතනව කො, නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්ත පනස් හයේ දරුවෝ, ඔක්සිජන් ඕනෑ නැහැ, පිට්ටනි ඕනේ කියන කොට, මේවා ෆොරීන් මීඩියාවල යන කොට, මොකද්ද අයිසෙ අපේ රට වැටෙන තත්ත්වේ…?

“හරි… දැන් තමුසෙම කියනව කො, මේ වගේ හැත්තබුරුත්තක් ඉන්න රටක වක්‍රෝත්ති, ව්‍යංගාර්ථවලින් දෙයක් තේරුම් කරන්න පුළුවන් ද…? බල්ලට පොල්ලෙන් ගැහුව වගේ දඩස් ගාල නොකියා… අයිසේ… කෝ…? තමුසෙ ලයින් එකේ තාම ඉන්නව ද? හූමිටියක්වත් දෙනව කො අයිසෙ…”

“හූමිටියක් දෙන්නවත් වෙලාවක් හම්බ වුණේ නෑනෙ අන්කල්… අන්කලු‍ත් බල්ලට පොල්ලෙන් ගැහුව වගේ දෙසාගෙන දෙසාගෙන ගියා නෙ…”

“තමුසෙලාටත් මේවා එහෙම තමයි අයිසෙ කියන්න ඕනෑ… තමුසෙලත් බබාලා නෙමෙයි නේ… අනික මං ගාව ඔය සිඟිති සුරතල් නැහැනෙ අයිසෙ, තමුසෙ දන්නවනෙ ඒක… හරි… ඒකෙන් වැඩක් නැහැ… දැන් මම මේ කිව්ව දේවල් ගැන මොකද්ද තමුසෙගෙ අදහස…?”

“සියල්ලට එකඟයි… ඒත් මං මේ කල්පනා කරන්නෙ කොහොම ද ඔය ඔක්කොම එක ආටිකල් එකකට ගන්නෙ කියලා…”

“අයිසෙ මම පාඨකයා, තමුසෙ ලේඛකයා… ඒක කියල දෙන්න ඕනෙත් මම ද…?”


විමල් කැටිපෙආරච්චි
(ලංකා පුවත්පත ඇසුරින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button