කාදිනල්ගේ ප්‍රකාශය තුළම යටි පෙළින් ප්‍රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය ගැබ්ව තිබුණි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා මහා ව්‍යවසනයක් වැළැක්වුණු බවට ඇතැමුන් කියනවිට මම ඊට විරුද්ධ වුණෙමි.
ඒ එම ප්‍රකාශය තුළම යටි පෙළින් ප්‍රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය ගැබ්ව තිබුණු නිසාය.
මැල්කම් රංජිත් හිමි එතැනදී හැසිරුණේ ආගමික නායකයකු වශයෙන් ඔහු හැසිරිය යුතුව තිබුණු ආකාරයෙනි.
ඔහු ඊට වෙනස් ආකාරයකින් හැසිරුණේ නම් ඔහු කතෝලික සභාවේ කාදිනල්වරයකු වන්නේ නැත.
ඔහු ඊට වෙනස් ආකාරයකින් හැසිරුණේ නම් ඔහු එක් කම්මුලකට පහරදුන්නේ නම් අනිත් කම්මුලත් හරවන්නැයි කී ජේසුස් ක්‍රිස්තුස් නම් ඓතිහාසික මිනිසාගේ අනුගාමිකයකු වන්නේ නැත.
ඔහු ඊට වෙනස් ආකාරයකින් හැසිරුණේ නම් ඔහු සිය මරණ මංචකයේදී පවා තමන් ඝාතනය කළ වුන් සම්බන්ධයෙන් “පියාණෙනි, ඔවුන් නොදැන කළ වරදට කමා කළ මැනව” කී ජේසුස් ක්‍රිස්තුස් නම් සාමකාමී මිනිසාගේ, සමාව දෙන්නාගේ අනුගාමිකයකු වන්නේ නැත.
එහෙත් අපේ සමාජයට වුවමනා වූයේ කාදිනල්තුමන් වර්ණනා කිරීම හරහා “අපිට ඕනෙ නම් ගහන්නත් තිබ්බා, කාදිනල්තුමා නිසා ගැහුවෙ නෑ” යන පණිවිඩය මුසල්මානුවා වෙත යැවීමය.
අවසානයේ සියළු පොහොර දැමීම්වලින් පසුව මුස්ලිමුන්ට එරෙහිව ප්‍රහාරය එල්ල විය.
මුස්ලිමුන්ට තඩිබෑ පසුව ජමියතුල් උලමා සභාවේ මවුලවිවරුන්ගේ ඉවසීම නිසා මහා විනාශයක් වැළකුණු බවක් කිසිවකු කියන්නේ නැත.
ඒ නොකියන කතාව හරහා කියවෙන්නේ මුස්ලිමුන්ට තඩිබෑම “සාධාරණ පහරදීමක්” බවට වන විඥානය නොව්ද ?
මිනිසුනි, සර්පයා දරණුලා වැඩ සිටින්නේ අප තුළමය !
කල්පනා කළ යුතු, ක්‍රියාකාරී විය යුතු බොහෝ දෑ තිබියදී නාස්ති කරනා හැම තත්පරයක් පිළිබඳවම වගකීම අනාගතයේදී අපට, උපන් නූපන් අපේ දරුවන්ට දරන්නට සිදුවනු ඇත.
අපව “රැකේ පුඩිකල් සංහිඳියාකාරයින්” ලෙස හඳුන්වමින් ඔවුන් අපට පුන පුනා කී කතාවක් යළි ඔවුන් වෙත කියන්නට වීම ද ඛේදවාචකයක් ලෙස හඟිමි.
“දවසක උඹලට තේරෙයි !”
රුවන් නෙලූ