දේශීය

මහර බන්ධනාගාරය යුධ පිටියක් වෙයි

මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස උද්ගත වූ උණුසුම් තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව වාර්තාවේ.
මේ හේතුවෙන් මධ්‍යම රාත්‍රිය වනවිට මළ සිරුරු 4 ක් සහ තුවාලකරුවන් 25 දෙනෙකු රාගම රෝහලට රැගෙන ආ බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසා තිබේ.
මේ වනවිට බන්ධනාගාරයේ තුළ රඳවා ඇති පිරිස් අතර ද ආරවුලක් ඇති වී ඇති බව ඇය කීය. බන්ධනාගාරය අවට ප්‍රදේශයට ද දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.රැදවියන් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වන බවද ඇය පවසයි.
බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ සඳහන් කළේය.
“බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම මත, බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙනවා. එම බලය පාවිච්චි කිරිමේ දී එක් රැඳවියක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.”
බන්ධනාගාරය තුළ දැඩි ගින්නක් හටගෙන ඇති අතර විටින් විට වෙඩි හඩවල් ඇසෙන බව බන්ධනාගාරය අසල පදිංචි පුද්ගලයින් සඳහන් කර සිටිති. සමාජ මාධ්‍ය තුල ඊට අදාල වීඩියෝවක් ද සංසරණය වෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button