බැසිල්ගේ ‘දිවිනැගුම නඩුවේ’ තීන්දුව හෙට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව දිවි නැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 291 ක අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ හා දිවි නැගුම ප්‍රතිලාභීන් අතර සෙවිලි තහඩු වෙනත් නිවාස ද්‍රව්‍ය බෙදා හැරීමේ චෝදනාව යටතේ පණවා ඇති නඩුවේ තීරණාත්මක තීන්දුවක්, කොළඹ මහාධිකරණය විසින් හෙට (30) දින ලබා දීමට නියමිතය.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ඉදිරියේ විභාග කෙරිණි.
මීට පෙර අවස්ථාවකදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සියලුම සාක්ෂිකරුවන්ගේ නඩු විභාගය අවසන් කර ඇති බවයි.
පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් 9 දෙනෙකුගේ සාක්ෂි පවත්වා ඇති බවත්, අධිචෝදනා පත්‍රයට අදාළ සියලු ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව පැමිණිල්ල විසින් නඩුව අවසන් කරන බවත් ඔහු සදහන් කළේය.
ඉන් අනතුරුව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරුවන්ගෙන් තීන්දු ප්‍රකාශ සටහන් නොකර නඩුවෙන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විත්තිකරුගේ ඉල්ලීම පරිදි පැමිණිල්ලේ ස්ථාවරය ඉදිරි නඩු විභාගයේදී අධිකරණයට දැනුම් දෙන බව රජයේ අධිනීතිඥ මුදලිගේ ප්‍රකාශ කළේය. ඒ අනුව, අවසන් නඩු වාරයේදී නඩුව විභාගයට ගන්නා විට, තුසිත් මුදලිගේ විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට ලිඛිත කරුණු ඉදිරිපත් කරන ලදී.
තත්වයන් සලකා බැලීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරුවරයා හෙට (30) එහි තීන්දුව සඳහා දින නියම කළේය.
පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව රුපියල් මිලියන 291 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපති විසින් නීතිමය කටයුතු ආරම්භ කර තිබේ.
කෙසේ නමුත් පසුගිය සති දෙක තුළ දී, යහපාලන ආණ්ඩු සමයේ පවරා තිබූ මෙවැනි නඩු ගණනාවකින්ම චූදිතයින් නිදහස් කිරීමට හා දීර්ඝ කාලීන රක්ෂිත බන්ධනාගාරගත කිරීම් අවසන් කර ඇප ලබා දීමට දිවයිනේ විවිධ අධිකරණය තීන්දු කළේය.