දේශීය

නව රජය සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි

පසුගිය රජය සමයේ ලෝක බැංකුවේ ආධාර මත, සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් පරිසරවේදීන්ගේ සහ ජනතාවගේ විරෝධය මත එම ව්‍යාපෘතිය හකුළා ගැනීමට සිදු විය. අදාල ව්‍යාපෘතිය යටතේ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළ නමුත් එල්ල වූ විරෝධය හේතුවෙන් එය අවසන් කිරීමට රජයට නොහැකි විය.

මෙම ව්‍යාපෘතියට එරෙහිව විරෝධතා එල්ල කළ පරිසර සංවිධාන අතරින් ඉදිරියෙන්ම සිටියේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයයි. එම සංවිධානය විවිධ ජාත්‍යන්තර සංවිධානවලට මෙම පරිසර හානිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ද කටයුතු කළ අතර ලෝක බැංකුව වෙත ද පැමිණිලි කර තිබේ.

මේ වනවිට ලෝක බැංකුවේ I Panel හරහා පරිසරවේදීන් සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වෙන අතර ඒ අනුව අදාල මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අත්හිටුවීමට රජයට සිදු විය.

මේ අතර පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ අදාල ව්‍යාපෘතිය වෙනුවට නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වත්මන් රජය උත්සාහ ගනිමින් සිටින බවයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා තම සංවිධානයට ද සහභාගි වන්නැයි ලිපියක් මගින් දැනුම් දී ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

මීට පෙර ආරම්භ කළ ව්‍යාපෘතිය අසාර්ථ වන නිසා මෙම ව්‍යාපෘතිය මුල සිට නැවත ආරම්භ කිරීමට රජය බලාපොරොත්තුවෙන් සිටින බවත්, එහෙත් කලින් ආරම්භ කළ අසාර්ථක ව්‍යාපෘතියෙන් පරිසරයට සිදු වූ හානිය පිළිබඳව හෝ හානි පූර්ණය පිළිබඳව හෝ කිසිදු කතාබහක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

ලෝකයේ බොහෝ රටවල සිදුවන පරිසර හානි සහ එහි ප්‍රතිවිපාක අත්විඳීම් සම්බන්ධයෙන් ලෝක පරිමාණයෙන් සංවාදයක් නිර්මාණය වී ඇති අවස්ථාවක මෙරට පාලකයන් තවමත් එහි අනතුර හඳුනාගෙන නොමැති බවද රවීන්ද්‍ර කාරියවසම් පවසනවා.

මීට පෙර ආරම්භ කළ අසාර්ථක ව්‍යාපෘතිය හරහා සිදු වූ පරිසර හානිය අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කළ යුතු මොහොතක වත්මන් ආණ්ඩුම එම ව්‍යාපෘතිය සම්පූර්ණ අතහැර දමා නැවත එම ව්‍යාපෘතියම අලුතින් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කරන බවයි කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ. මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කළහොත් ඊට එරෙහිව දේශීයව හා ජාත්‍යන්තරව දැඩි විරෝධය පළකරන බවත් යහපාලන ආණ්ඩුව යටතේ පරාජය කළ ව්‍යාපෘතිය නැවතත් පරාජය කිරීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button