දේශීය

සායින්දමරුදු රැවටීමක්…!

සායින්දමරුදු නගර සභාව පිහිටුවීමට අදාළ ගැසට් පත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයෙන් ඒ පිළිබඳව ජනතාව තැබූ විශ්වාසය මුළුමනින්ම කඩ කර තිබේ.

මේ තීරණය සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙන්වා දී ඇත්තේ කල්මුණේ මහ නගර සභාව යළිත් තිබූ තත්ත්වයටම පත්කරන බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දුන් පොරොන්දුවකට අනුව සායින්දමරුදු පමණක් නගර සභාවක් ලෙස වෙන් කළද, මෙහි කොටස් හතරක් තිබේ. එම කොටස් හතර ම බෙදා වෙන් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සලකා බලන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබාදුන් පොරොන්දුවක් අනුව මෙය සිදු වූ බවත්, ඊට තම ජනතාව විරෝධය පළ නොකරන්නේ එම නිසා බවත් ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරන ඒ.එම්.එල්. අතාවුල්ලා පාර්ශ්වය පවසයි.

ජනතාව කැළඹීමට

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කල්මුණේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් රහුමාන් මන්ෂූර් පවසන්නේ මෙම ගැසට් පත‍්‍රය අත්හිටුවීමට ආණ්ඩුව ගත් තීරණයෙන් ජනතාව කැළඹීමට පත්ව සිටින බවයි. සායින්දමරුදු නගර සභාව ස්ථාපිත කිරීම ජනතාවට කොතරම් වැදගත්ද යන්න ගැසට් පත‍්‍රය නිකුත් කළ පෙබරවාරි 14 වැනිදා දැකගැනීමට හැකි වූ බවත්, මේ වන විට ආණ්ඩුවට හිතවාදී දේශපාලනඥයන් විසින් තවත් පොරොන්දු ලබාදෙමින් ජනතාව ඊට විරෝධය පළකිරීම නතර කරගෙන සිටින බවත් ඔහු සඳහන් කළේය.

කල්මුණේ මහ නගර සභාව යනු සායින්දමරුදු, කල්මුණේ, කල්මුණේ උතුර සහ කල්මුණේ දකුණ යන කොටස් හතරේ එකතුවකි. මෙම කොටස් හතර ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස විසින් එක් ප‍්‍රාදේශීය සභාවක් බවට පත්කරන ලද අතර, අෂ්රොෆ් ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් එය මහ නගර සභාවක් බවට පත් කෙරිණි. මේ අතරින් වැඩිම ඡන්දදායකයන් පිරිසක් සිටින්නේ සායින්දමරුදු කොටසේ ය.

කෙසේ වෙතත් සායින්දමරුදු නගර සභාව ප‍්‍රකාශයට පත්කිරීමත් සමගම, කල්මුණේ මහ නගර සභාවේ සීමාවන් පිළිබඳව ගැටළුවක් ඇති වූ අතර, තාලවට්ටුවාන් මාර්ග සීමාව සම්බන්ධයෙන් ද කල්මුණේ මහ නගර සභා රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.

ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ ගැසට් පත‍්‍රය අත්හිටුවීමට හේතු ලෙස දක්වා ඇත්තේ නැවත සීමා නිර්ණය කොට, කොටස් හතරකට වෙන් කරන බවයි. මේ සම්බන්ධයෙන් විමසීමට ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරන ඒ.එල්.එම්.අතාවුල්ලා හිටපු ඇමැතිවරයා සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා හිටපු මන්ත‍්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට අප දිගින් දිගටම උත්සාහ ගත්තද, ඔවුන් දෙපාර්ශ්වය ම සඳහන් කළේ මෙතෙක් කිසිදු අදහසක් දැක්විය නොහැකි බවත්, තම ජනතාව සමග ආණ්ඩුවේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡුා කරමින් සිටින බවත් ය.


සිසිර යාපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button