පාස්කු ප්‍රහාරය: CID විමර්ශකයින්ට ස්ථාන මාරු – කොමිසමේ සභාපති විනිසුරුට උසස්වීමක්
අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවේ සේවය කරමින් සිටි විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නව දෙනෙකු ඇතුළු නිලධාරීන් 19කගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනවශ්‍ය බව දන්වා වැඩබලන පොලිස්පතිවරයා විසින් සාමාන්‍ය පොලිස් රාජකාරී කටයුතු සඳහා ස්ථාන මාරු ලබාදී ඇතැයි වාර්තා වේ.
එම නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු, උප පොලිස් පරීක්ෂකවරු, පොලිස් සැරයන්වරු යන නිලයන්ට අයත් පිරිමි හා කාන්තා නිලධාරීන් සිටින අතර ඉන් වැඩි දෙනෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ නිලධාරීන් බව වාර්තා වේ. ඊට අමතරව රිෂාඩ් බදියුදීන් මහතා හා සොහොයුරා සම්බන්ධ විමර්ශන, හෝමාගම ගිනි අවි ගබඩාවට අදාළ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධ විමර්ශන ඇතුළත් ආන්දෝලනාත්මක විමර්ශන රාශියක් සිදුකරන විමර්ශකයන් සිටින බව සඳහන් පැවසේ.
පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම සියලුම නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූවේ වසර 15ක පමණ සේවා කාලයක් සම්පූර්ණ කරමින් රටේ ආන්දෝලනාත්මක විමර්ශන රාශියක් සිදුකළ අත්දැකීම් බහුල කීර්තිමත් නිලධාරින් වන බවයි. මෙම නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් සිවු දෙනකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරියන් තිදෙනකු, පොලිස් පරික්ෂකරුවන් දෙදෙනකු, පොලිස් පරික්ෂකවරියක, උප පොලිස් පරික්ෂකවරියක, උප පොලිස් පරික්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් සිවු දෙනකු, පොලිස් සැරයන්වරියන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකු ද සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මෙම නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ස්ථාන මාරු කර ඇත්තේ කැලණිය, කොළඹ දකුණ, ගම්පහ, කොළඹ මධ්‍යම, මාතර, ගල්කිස්ස, කුලියාපිටිය, කළුතර, කෑගල්ල, නුගේගොඩ, පානදුර සහ අනුරාධපුරය යන පොලිස් කොට්ඨාස වෙතය.
මෙලෙස CIDයේ ඉහළ පෙළේ අත්දැකීම් බහුල පොලිස් නිලධාරීන් මාරු කිරීම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ දැඩි කතාබහක් මෙන්ම ව්‍යාකූල තත්වයක් මතුව ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් පැවසේ. එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුව අවාසිදායක විය හැකි පරීක්ෂණ රැසක් මෙම නිලධාරීන් හරහා විමර්ශනය වෙමින් පැවතිම එම විමර්ශන දුර්වල කිරීමේ වුවමනාව වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ගන්නට ඇතැයි සැකයක් පවතින බවය. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සහරාන් හෂීම්ගේ බිරිඳ සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී සියලුම මාධ්‍ය ඉවත් කිරීම හරහාත් ඒ තොරතුරු සැඟවීමේ උත්සාහක් පැවති බව තහවුරු වන්නේ යැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේයැයි ලංකාටෘත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
කෙසේ නමුත්, කෝවිඩ් අවධානම නිසායැයි පවසමින් කල් දැමුණු පාස්කු ප්‍රහාරයට අදාල ජනාධිපති කොමිසම මේ වන තෙක් යළි රැස් වී නැත. ඇදිරිනීතිය හේතුවෙන් කල්දැමුණු දේශපාලන පළිගැනීම් කොමිසම පසුගියදා යළි රෙස්වුණේ බස්නාහිර පළාතේ ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසුවයි.
පාස්කු කොමිසමේ සභාපති විනිසුරුවරයාව සිටි අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, මේ වන විත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස ද උසස් කර ඇත.