දේශපාලන

යුද ජයග්‍රහණයට ගෞරව පුද කිරීමට මහින්ද නමින් මම ගමක් හදනවා

අප හිටපු ජනාධිපතිතුමන්ට යුද ජයග්‍රහණයට ගරුත්වය ලබා දිය යුතුයි. ඉදිරියේදී එතුමන්ට එම ගරුත්වය ලබා දෙමින්, මගේ සුරතින් ඔහුගේ නමින් ගම්මානයක් ඉදිකරන්නට කටයුතු කරනවා යැයි, සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නමින්ද ගම්මාන ඉදිකරන බවත්, දේශපාලන කුහකකම් හෝ වෛරය හදවතේ තියා ගනිමින් තමා කටයුතු නොකරන බවත් පැවැසීය.
ජාති, ආගම්, පක්ෂ, පාට නොබලා පැය 24ම දින 365ම, ජනතාවට සේවය කිරීම තම බලාපොරොත්තුව බවත් ජනපති ප්‍රමුඛ මැති සභයේ 225 දෙනා රටේ ලක්ෂ 210ක් වූ ජනතාවගේ භාරකරුවන් මිස අයිතිකරුවන් නොවන බවත් පොහොට්ටුවේ පිරිස් රටේ ජනතාව වහලුන් යැයි සිතා කටයුතු කරන්නේ ඔවුන් රටේ අයිතිකරුවන් යැයි සිතන නිසා බවත් පැවැසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, පහළ පුලියන්කුලමේ ඉදිවූ ‘රන්වියන්පුර’ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙසේද පැවැසීය.

මෙම උදා ගම්මානය විවෘත කිරීමට තිබුණේ පසුගිය ඔක්තෝබර් මස 31 වැනිදායි. නමුත් ඔක්තෝබර් 26 වැනිදා අපේ රටේ දේශපාලන ඛේදවාචකයක් සිදු වුණා. මෙම ඛේදවාචකය සිදු නොවී පසුගිය දින 52ක කාලය තුළත් අපේ ආණ්ඩුව තිබුණා නම් මේ වන විට නව ගම්මාන 150ක් පමණ ආරම්භ කර ඉඩම් හා නිවාස නොමැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ආධාර උපකාර කරන්නට තිබුණා. නමුත් අද සිදු වී තිබෙන්නේ කුමක්ද? දින 52ක් නැවතී තිබූ සංවර්ධනය හා ජනතා සේවාව දැන් අප වහා දියත් කළ යුතුයි.

මීට සති කිහිපයකට පෙර ජනාධිපතිතුමන්ටත් හොරෙන් පොහොට්ටුවේ නායකතුමා මන්ත්‍රිවරුන්ට පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා දුන්නා. එසේ කටයුතු කළ ඔවුන් ‘අපි පොහොට්ටුවේ නෙවෙයි අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ’ කියා අද කියනවා. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන තමන්ගේ මුහුණු පොතේ පණිවුඩ නිකුත් කළා. නමුත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී නීත්‍යනුකූල ලෙස ප්‍රශ්න කරන විට ඔවුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසන රත්වෙනවා. ඔවුන් දැන් ප්‍රකාශ කළොත් පොහොට්ටුවේ බව ඔවුන්ගේ මන්ත්‍රිකම අහෝසි වෙනවා. මෙයින් අපට විශාල පාඩමක් ඉගෙන ගැනීමට තිබෙනවා. අපි පක්ෂය සහ පාක්ෂිකයා අපේ අනාගතය උදෙසා කිසිවිට පාවා නොදිය යුතුයි.

සජිත් ප්‍රේමදාසටත්, කරු ජයසූරියටත් අවස්ථා රැසකදී අගමැති ධුරය භාරගන්න කිව්වා කියා පසුගියදා ජනාධිපතිතුමාම ප්‍රකාශ කළා. එය සත්‍යයක්. මට දහ වරකට වඩා එය කිව්වා. එම ඉල්ලීම පිළිබඳව ජනාධිපතිතුමන්ට මා අගෞරවයක් නොකර වැඩ කළ යුතුයි.

අප එක දිනක් තුළ ගම්මාන 85ක වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවා. කවුරුන් හෝ අභියෝග කරනු ලබනවා නම් මුල්ගල් තැබූ ගම්මාන 85 පිළිබඳව අවශ්‍ය ලියකියවිලි මා සතුව මේ මොහොතේ තිබෙනවා. ජාති, ආගම්, පක්ෂ, පාට, පන්ති භේදයන් මට වැදගත් වන්නේ නැහැ. එකම සුදුසුකම වන්නේ ඉඩමක් නොමැතිකම, නිවෙසක් නොමැතිකමයි.

මගේ පියාණන්ද භේද බින්නවලින් තොරව නිවාස ඉදිකළ නිසා රටේ මහනගර සභාවක මන්ත්‍රිවරයකු ලෙස සිට එතුමා ජනාධිපති වුණා. අපේ වැඩසටහනේ මුල්තැන ලබා දෙනුයේ මිනිසත්කමටයි. එක්කෙනකු, දෙදෙනකු වැරැදි කළාට මා සූදානම් නෑ මාධ්‍යයට විවේචන ඉදිරිපත් කරන්නට.


උපතිස්ස පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button