දේශපාලන

“කටුපොල් තහනම් කරන්න අපිට බෑ”

- අමාත්‍ය රමේෂ් පතිරණ

විනාශකාරී කටුපොල් වගාව තහනම් කිරී⁣ම මේ වන තෙක් ගැසට් කර නොමැත. ඒ අනුව ඒ පිලිබඳ සාකච්ජා කිරීම සඳහා පරිසර සංවිධාන ඇතුලු කටුපොල් වගාව හේතුවෙන් පීඩාවට පත් ජනතාව නියෝජනය කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා හමුවිය.

මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා නිශ්චිතව සඳහන් කලේ කටුපොල් වගා කිරීම නැවැත්වීමට කැබිනට් තීරණයක් ගෙන තිබුනද කටුපොල් වගාව තහනම් කිරීමට කිසිඳු බලයක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සතුව නොමැති බවත්, එය කල හැක්කේ පරිසර අමාත්‍යාංශයට බවත්ය. කැබිනට් තීරණය නොතකා කටයුතු කරන, රාත්‍රී කාලයේ හොර රහසේ කටුපොල් සිටුවන සමාගම් සම්බන්ධයෙන් ද පියවරක් ගත නොහැකි බවත් සමාගම් පවතින්නේ මුදල් අමාත්‍යාංශය යටතේ බවත්ය.

එසේම ඇමතිවරයා කියා සිටියේ මේ වන විට මෙරට තෙල් පරිභෝජනයෙන් 40% කට වඩා පාවිච්චි කරනුයේ පාම් ඔයිල් බවත් මෙරට කටුපොල් වගාව නතර වුවහොත් පාම් ඔයිල් පිටරටින් ගෙන්වීමට සිදු වන බවයි.

ගැටලුව ඇත්තේ රමේෂ් පතිරණ ඇමතිවරයා විපක්ෂයේ සිටින කාලයේත්, ආණ්ඩුව පත්වු විගස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ කටුපොල් තහනම් කරන බවයි. නමුත් අද කරන ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ එවැන්නක් සිදු වීමේ සේයාවක් හෝ නොමැති බවයි. කටුපොල් බීජ ගෙන්වීමට අවසර ලබා දී ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයයි. පරිසර, මුදල් හා වැවිලි කර්මාන්ත ඇමතිවරු තිදෙනාම එකම කැබිනට් රැස්වීමට සහභාගී වේ. කටුපොල් වගාවෙන් සිදුවන හානි පිළිබඳවත් මේ ඇමති මණ්ඩලය දැනුවත්ය. එසේ නම් අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශයට බොලේ පාස් කිරීම නොව, කල යුත්තේ මේ විනාශකාරී වගාව වහා තහනම් කිරීමය.

කටුපොල් බීජ ගෙන්වීමට අවසර දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිටයි.

එම නිසා අපට විස්වාසය තැබිය හැකි එකම විසඳුම වන්නේ ජනතා අරගලය පමණයි. ඒ වෙනුවෙන් පෙල ගැසෙමු….!


YOUTH FOR CHEnge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button