දේශීය

බැසිල් රාජපක්ෂ 12 වැනිදා පාර්ලිමේන්තුවට

ඇමතිකම අයවැයෙන් පසු

 

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මස 12 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ද වන ඔහු එසේ දිවුරුම් දෙනු ඇත්තේ, ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයේය.

ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම් වෙත යොමු කිරීමට නියමිතය. අදාල ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැන්වූ පසු 6 වැනිදා රැස්වීමට නියමිත නව මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීධුරයේ පුරප්පාඩුව සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් පා.ම. සාගර කාරියවසම් දැනුවත් කිරීමෙන් පසු, පක්ෂ ලේකම් විසින් දන්වා එවන නම (බැසිල් රෝහණ රාජපක්ෂ) මැතිවරණ කොමිසම විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. ඔහුට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය හැක්කේ ඉන් පසුවයි.

කෙසේ නමුත්, බොහෝ දෙනෙකුගේ විශ්වාසය වූයේ බැසිල් රාජපක්ෂ නොවැම්බර් 3 වැනිදාට යෙදෙන පාර්ලිමේන්තු දිනයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබූ ‘බැසිල් බාධක වගන්තිය‘ 20 වන සංශෝධනය මගින් ඉවත් කිරීමෙන් පසුවයි.

එසේ වුව ද කතානායකවරයා විසින් 20 වන සංශෝධනයට අත්සන් කිරීම පසුගිය බ්‍රහස්පතින්දා (29) සිදු වීම හේතුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු සම්පූර්ණ කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් හිමි නොවීම මෙන්ම ජ්‍යෝතිෂමය කරුණු හේතුවෙන් 03 වැනිදා දිවුරුම් දීම සම්බන්ධයෙන් එම පාර්ශවය උනන්දුවක් දක්වා නැතැයි වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා කන්‍යා ලග්න හිමියකු වන අතර කන්‍යා ලග්න හිමියන් අගහරුවාදා සලකන්නේ අසුභ දවසක් ලෙසයි. කන්‍යා ලග්න හිමියන්ගේ සුභ දිනය බදාදා ලෙස සැලකෙන අතර ශ්‍රීලංකාවේ ලග්නය ලෙස සැලකෙන කුම්භ ලග්නයට අනුව සුභ දිනය ලෙස සැලකෙන්නේ බ්‍රහස්පතින්දා දවසයි. ඒ අනුව, බැසිල් රාජපක්ෂ මහතා, දැනට මීලග පාර්ලිමේන්තු දිනය ලෙස තීරණය වී ඇති 12 වෙනි බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. එසේ වුවද, පාර්ලිමේන්තු ඊට ආසන්න බදාදා දිනකදී රැස්වුවහොත්, බැසිල් රාජපක්ෂ එදින පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත්තේ මහත් උද්‍යෝගයෙනි.

කෙසේ නමුත්. මන්ත්‍රීධුරයේ දිවුරුම් දුන්න ද ඔහු අයවැය අවසන් වන තෙක් අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීමේ සූදානමක් නොමැති බව ද සදහන්.

ජනයුගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button