දේශීය

“සුව සේවකයන්ගෙන් කොරෝනා බෝවීමේ අවදානමක් නෑ”

- ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරස් රෝගී ප්‍රතිකාරයේ යෙදීම නිසා සමාජයේ ඇතැම් පිරිස් වල හිරිහැරයට ලක්ව සිටින සුව සේවකයන් මගින් වෛරසය ආසාදනය වීමේ අවදානමක් නොමැති බව සහතික කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් වී සිටී.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යෑමට පෙර හෙදියක් නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සුදානම්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් මුහුණු පොතේ ප්‍රචාරය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බව අවධාරණය කර තිබේ.

වීඩියෝ පටයේ දැක්වෙන හෙද නිලධාරිනිය සුදානම් වන ආකාරය විස්තර කරන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයකු පෙන්වා දෙන්නේ එම ආකාරයෙන් සුදානම් වීමේ ප්‍රධාන අරමුණ වන්නේ රෝගියාගෙන් එම හෙදියට විෂබීජ ඇතුළුවීම වළක්වා ගැනීම බවයි.

“ඒ ආකාරයෙන් ඇද පැලදගෙන සත්කාර සඳහා ගියාම කිසිම බියක් සැකක් නැතුව අපට ඒ රෝගියාගේ සත්කාර කරන්නට පුළුවන්. රෝගියාගේ විෂබීජ අපිට නොඑන බව අපි ස්ථිර වශයෙන්ම දන්න නිසා”

“රෝගියාගේ සත්කාර කරලා අවසන් වුනාට පස්සේ මේ සියළුම ඇදුම් පැළදුම් ගලවා තබලා තමයි ඒ වාටිටුවෙන් හෝ දැඩි සත්තාර ඒකකයෙන් එළියට එන්නේ. එහෙම කරනකොට අපි දන්නවා අපි එළියට යන්නේ විෂබීජ යම්කිසි දෙයක් ඇදුමක තැවරුනා නම් ඒ ඇදුම් සියල්ල ඉවත් කරලා.

ඒ නිසා ඒවා ගෙදර ගෙනියන්නේ නැහැ. ඒවා පාරට ගෙනියන්නේ නැහැ. කඩපිලට ගෙනියන්නේ නැහැ. ඒ නිසා අපිට බියක් සැකක් නැතුව අපේ දරු මල්ලන් හිතවතුන් හිතවතියන් වෙත සහ ජනතාව වෙත අපිට යන්න පුළුවන්.”

යැයි IDH විද්‍යායතනයේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තමන්ගේ සේවා මුරයට වඩා වැඩි කාලයක් රාජකාරි කිරීම නිසා රෝගීන්ගේ සත්කාරය නිසි ලෙස ඉටු කිරීමටත් රෝගීන්ගෙන් තවත් අයෙකුට රෝගය වැළදීම වළක්වා ගැනීමටත් හැකිවී තිබෙන බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම එම වීඩියෝව හරහා වැඩි දුරටත් පෙන්වා දෙයි.

කොරෝනා වෛරස් ආසාදිත හා වෛරසය ආසාදිතයැයි සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කරන සුව සේවකයන්ට බාහිර සමාජයෙන් විවිධ පීඩාවන් එල්ල වන බව පිළිගන්නා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට ඉහතදී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා තිබුනේ යුද සමයේදී සොල්දාදුවන්ට සහාය වු අයුරින් මේ මොහොතේ සෞඛ්‍ය සේවකයන්ට සහාය වන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button