දේශීය

හෙට නිවාඩු දුන්නේ ඇයි?

මොකක්ද හෙට කරන්නේ? කියලා, රජයට ප්ලෑන් එකක් තියෙනවද? ඒක මිනිස්සුන්ට කිව්වද? කොරෝනා සැරිසරන හැම රටක්ම වගේ දින දාහතරක් නිවාඩු දීලා ස්වයං නිරෝධායනය ක්‍රමයක් ගෙන යනවා. ඒත් අපි එක දවසක් නිවාඩු දීලා ඒ නිවාඩුවේ මොකක්ද කරන්න ඕනේ කියලවත් දන්නවද? නෑ….

නිවාඩුවේ දැනට තියන හරය මොකක්ද? “ෂා හෙටත් ගෙදර” කියන එක ඇරෙන්න වෙන දෙයක් තියෙනවද? ඒ නිවාඩුවේ, මිනිස්සු මාර සැපේ ඉන්නවා.එච්චරයි. දැන් ඒකෙන් කොරෝනා ඉවර වෙනවද?

හෙටින් පස්සේ බැංකු සියල්ල වැඩ. බැංකුවලට එක එක අය එනවා යනවා. රජයේ කාර්යාල වැඩ. පෞද්ගලික අංශයේ අනෙක් ආයතනත් එහෙමයි. ආයෙත් මිනිස්සු සාමාන්‍ය විදියට කෝච්චි බස්වල යනවා හෙටින් පස්සේ…. රජය නිරෝධායනය වැඩසටහන පටන් ගන්න කලින් යුරෝපයේ ඉඳලා 3500 කට ආසන්න ශ්‍රී ලාංකිකයින් මාර්තු 01 ඉඳලා 10 වෙනකල් රටට ඇතුළු වෙලා. චීනෙන් 1500කට ආසන්නයි. එතකොට මේ අය මේ සමාජයේ ගැවසෙනවා. මේ අය ගනුදෙනු කරනවා. එතකොට හෙට දවසෙන් පුළුවන්ද මේ ප්‍රශ්නය නිට්ටාවට කෙසේ වෙතත් 10%ක් වත් අඩු කරගන්න. පැහැදිලිවම බැහැ. හෙටත් මිනිස්සු ආතල් එකේ ඇවිදිනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නෑ. මේක සම්පූර්ණයෙන් තේරුමක් නැති නිවාඩුවක්.

ඇත්තටම වෙන්න ඕනේ අඩුම දින හතක් හෝ වැඩිම දින 14ක් දාලා මේ ආපු අය ගැන විස්තර හොයලා ඒ අයගේ නිවෙස් ඇතුලෙම නිරෝධායනය කරන්න ඕනේ. ඒ අය කොහෙද ඉන්නේ කියලා හොයාගන්න ඕනේ. එහෙම නැතිව වෛරසය ඇතුළට දාලා, හෙට නිවාඩු දීලා මිනිස්සු ඇවිද්දම ඒ නිවාඩුවෙන් මේ කපේට මේ ප්‍රශ්නය ගොඩ යන්න බැහැ. ඒ නිසා හෙට චිල් එකේ ඉන්න දවසක් විතරයි මේ නිවාඩුවෙන් කළේ.

ඒ නිසා අඩුම තරමේ මේ ගැන අවධානයක් තියෙන මිනිස්සු එදිනෙදා තමන්ගේ ජීවන ක්‍රමය වෙනස් කරගන්න. පාරේ යනකොට මාස්ක් එකක් දාන්න. පැය බාගයකට සැරයක්වත් සබන් දාලා හොඳට අත් හෝදගන්න. කොහේ හරි ගිහින් ආවොත් තමන්ගේ පවුලේ අය එක්ක එකතුවෙන්න කලින් ඇඟපත හෝදලා, ඇඳන් ආපු ඇඳුම් හෝදලා දාන්න. ටිකක් සීරියස්ව හිතන්න මේ ප්‍රශ්නය ගැන. එහෙම සීරියස් නොවුනු නිසයි අද ඉතාලිය විඳවන්නේ.

එහෙම නැතුව හාල්, අල, ලූණු ගෝනි ගණන් අරන් ගිහින්, තෙල් ෆුල් ටෑන්ක් ගහලා ගෙදරට වෙලා බකන්නිලන් ඉන්න එපා. ඉස්සෙල්ලා මාස්ක් ටිකක්, විශබීජ නාශක ටිකක් අරන් ගිහින් තියාගන්න. මොකද රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ සිතුම් පැතුම් අනුව මිසක් මේ වෙලාවේ රජයට අනුව නෙමෙයි. ඒකනේ කොරෝනා ගැන තියන විශේෂ මාධ්‍ය හමුවලත් කියන්නේ කට කැඩෙනකල් ඇමතිවරු “බය වෙන්න එපා ආහාර හිඟයක් ඇති වෙන්නේ නෑ” කියලා. ලෝකේ වෙන කිසිම රටක කියනවද මෙහෙම…. නෑ…. ඇයි මිනිස්සුන්ගේ සිතුම් පැතුම් තියෙන්නේ කන බොන එක ගැන විතරයිනේ….

රටක් රකින්න ප්‍රජාතන්ත්‍රවාදය අස්සේ හිට්ලර් තීරණත් ඕනේ. ඒක මේ හය හතර නොතේරෙන ආණ්ඩුවට කියලා දෙන්න කවුරු හරි. මොකද මේ වෙලාවේ රටක් රකින්න ඕනේ. එහෙම නැතුව කාවවත් සතුටු කරන්න නෙමෙයි වැඩ කරන්න ඕනේ. ආණ්ඩුව හිතන්නේ නිරෝධායනය තමයි එලටම යන්නේ කියලා. ඔව් ‘එළ’…. හැබැයි ඊටත් වඩා පැතිරෙන එක නවත්තන්න එළ වැඩ ටිකක් කරන්න. රිදුනට කමක් නැහැ…. මොකද රටම රිදෙන කාලය මෙහෙම ගියොත් වැඩි ඈතක නැහැ….


ගයාන් ගාල්ලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button