දේශීය

හිස් අතින් ගෙදර ගිය වෙළෙඳ කලාපයේ සේවකයින්ට වැටුප් ලබා දෙයි

ඒ වෘත්තීය සමිති මැදිහත් වීමෙනි

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනක මාර්තු මස වැටුප ඔවුන් සේවය කළ ආයතන මගින් ගෙවිය යුතු බවට තීරණය වුයේ වෘත්තීය සමිති මැදිහත්වී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බව නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන වෘත්තිය සමිතියක් සඳහන් කරයි.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසන්නේ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග වෘත්තිය සමිති සහ හාම්පුතුන්ගේ නියෝජිතයන් පැවැත්වු සාකච්ඡා වට දෙකක් මගින් මෙම තීරණයට එළඹි බවයි.

මාර්තු මස 17, සහ 20 යන දෙදින තුළ එම සාකච්ඡා පවත්වා ඇත.

රට මුහුණ දී සිටින වෛරස ආපදාව හමුවේ නිවෙස් බලා යන සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමටත් ඔවුන් නිවෙස් තුළ ගත කරන දින සේවකයන්ගේ වාර්ෂික නිවාඩු වලින් කපා නොහැරීමටත් එහිදී ඒකමතිකව තීරණය වු බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාර්කස් මාධ්‍ය වේදීන් සමඟ පවසා සිටියේය.

වැටුප බැංකු ගිනුම් වලට

ඒ අනුව නිදහස් වෙළඳ කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන ලෙස දන්වමින් කම්කරු කොමසාරිස් ජනරාල් වරයා විසින් ආයතන ප්‍රධානීන්ට මේ වන විටත් ලිඛිතව දන්වා ඇති බවට වෘත්තිය සමිති විශ්වාසය පළ කළේය.

සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විමසීම සදහා ලංකා සේව්‍ය සම්මේලයේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ සම්බන්ධ කරගැනීමට ඊයේ දවසේ දැරූ උත්සාහය සාර්ථක වුයේ නැත.

නිදහස් වෙළඳ කලාප සේවකයන්ගේ වැටුප් ගෙවීම කඩිනම් කිරීමට මැදිහත් වන ලෙස මාර්තු 29 ඉරිදා දිනයේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන්ද ඉල්ලීමක් කළ බව ඇන්ටන් මාර්කස් වැඩි දුරටත් සඳහන් කළේය.

නිදහස් වෙළඳ කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අදාළ අංශ වලින් ඉල්ලීමක් කර තිබු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එයින් දෙදිනකට පසු තහවුරු කර තිබුණි.

රජයේ සංඛ්‍යා ලේඛන අනුව දිවයින පුරා නිදහස් වෙළඳ කළාප 14ක කර්මාන්ත ශාලා 278 ක සේවක සේවිකාවෝ 1,37,478 ක් සේවය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button