දේශීය

මුහුදේ මෙහෙයුම් කරන්න අමෙරිකාවෙන් ලංකාවට ගුවන් යානයක්

සමුද්‍රීය නිරීක්ෂණ සහ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අමෙරිකානු රජය විසින් නිල වශයෙන් ඩොලර් මිලියන 19 ක් වටිනා Beechcraft King Air 360ER යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දී තිබෙනවා.

ආරක්ෂක ලේකම් සම්පත් තුයකොන්ත, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් සහ එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීවන් කෝලර් යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයක දීයි මෙම යානය ගුවන් හමුදාව වෙත භාර දී ඇත්තේ.

සුදුසු ගුවන් යානයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සාකච්ඡා 2019 වසරේ සිට අඛණ්ඩව පවතින බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

නව ගුවන් යානා එකතු වීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවට, නාවික හමුදාවට සහ පොලිසියට ඔවුන්ගේ මෙහෙයුම් සඳහා සහය වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව වඩාත් හොඳින් සන්නද්ධ වනු ඇති බව ද ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ද්විත්ව එන්ජින් සහිත මෙම ගුවන් යානය 2022 දී නිම කරන ලද අතර, 2024 දී සමුද්‍රීය නිරීක්ෂණ තාක්‍ෂණයෙන් වැඩිදියුණු කර තිබෙනවා.

එය නාවික සැතපුම් 1,450 ක පරාසයක සෙවීම් සහ ගලවාගැනීම්, බුද්ධි අංශ, ඔත්තු බැලීම් සහ ආපදා සහන මෙන්ම නීතිවිරෝධී කටයුතු ඇතුළු විවිධ මෙහෙයුම් සිදු කිරීමට හැකියාව පවතින බව සඳහන්.

මෙමගින් ධීවර කටයුතු, මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි ජාත්‍යන්තර අපරාධ මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහය වනු ඇති.

මෙහිදී අදහස් දැක්වූ අමෙරිකානු තානාපතිනි Julie Chung මහත්මිය අදාළ ගුවන් යානය ශ්‍රී ලංකාවේ සාමය සහ සෞභාග්‍යයේ නිරන්තර ආරක්ෂකයෙකු ලෙස සේවය කරනු ඇති බවට විශ්වාසය පළ කර තිබෙනවා.

2005 වසරේ සිට එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට නැව් තුනක් ලබා දී ඇති අතර සිව්වන කට්ටලය ලබන වසර වන විට ලබා දීමට නියමිත බවත් ඇය සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button