දේශීය

“පෙරහැරට අලි ඇතුන් ‌යොදා ගැනීම බුදු දහමට කරන නිගාවක්”

- ඕමල්පේ ‌සෝභිත හිමි

අලි ඇතුන් යොදාගනිමින් ‌පෙරහැර පැවැත්වී‌මේ ක්‍රමය බුදු දහමට ‌අගෞරවයක් බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඔමල්පේ සෝභිත නාහිමියන් පසුගිය දිනක පවසා තිබුනා.

පෙරහැරවල්වලට අලි ඇතුන් යොදා ගැනීමේ ක්‍රමය ඉවත ‌කොට ඒ‌ ‌වෙනුවට ආදේශකයක් ලෙස අලංකාර රන්සිවිගෙයක් සකස් කරන ලෙස යෝජනා කරන බවත් උන් වහන්‌සේ සඳහන් කළා.

උන්වහන්‌සේ ඒ පිළිබඳව ‌මෙලසද සඳහන් කර තිබුණි.

“වර්තමානයේ අලි ඇතුන්ට විශාල වශයෙන් හිංසා පීඩා සිදුවන ආකාරයෙන් පැවැත්වෙන පෙරහර සංදර්ශනය බුදුදහමට අවමානයක්වන තත්වයට වර්ධනය වී තිබෙනවා. සංස්කෘති‌යේ අරමුණු මුල් කරගෙන හෝ යම් සත්ව හිංසාවක් වෙනවානම් අපි ඒ හිංසාවන් පිටුදැකිය යුතුයි.

ඒ නිසා පෙරහරේ ගෞරවයත් රැකගෙන අලි ඇතුන්ට සිදුවන හිංසාවන් වලක්වා‌‌ගෙන වඩා බුද්ධිමත්ව හා ධර්මානුකූලව පෙරහැර සංස්කෘතියක් නිර්මාණය කිරිමට කාලය එළඹිලා තියෙනවා.

දම්වැල් බැඳගෙන තුවාල. ලෙඩරෝන තියන අලි ඇතුන් පවා අද පෙරහැරේ ගෙනියනවා. අලි ඇතුන් පෙරහරේ ‌යෙදවීම ‌වෙනුවන් එම හිමිකරුවන්ට දිනකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් හිමිවෙනවා. මේ මුදල් ලබාගැනීම ‌වෙනුවෙන් මේ සතුන්ගේ සෞඛ්‍යය මට්ටමවත් නොබලා ‌පෙරහැරේ යොදවනවා.

සතුන්ගේ සුබසාධනය ගැන නොසිතා එම සතුන් ‌පෙරහැ‌රේ ‌යොදවන්නන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

යුද්ධය සඳහා, ගමනාගමනය සඳහා ප්‍රවාහනය සඳහා අතීතයේ දී සතුන් ‌යොදාගත්තා.

දැන් එ‌හෙම තත්වයක් නැහැ. ඒ නිසා මේ ‌පෙරහැරවල්වලට අලි ඇතුන් යොදාගැනීමේ දී යම් නවීකරණයක් අවශ්‍යයයි. ඇතුන්ගේ අවශ්‍යතාව වෙනුවට ආදේශකයක් විදියට අලංකාර රන්සිවි ‌ගෙයක් සකස් කරන්න කියලා මම යෝජනා කරනවා”

යැයි උන්වහන්‌සේ පවසා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button