සමාජ

“රාජ්‍ය නිලධාරීන්ගේ වරද පෙන්වා දීම ජනතාවගේ අයිතියකි”

මාධ්‍යවේදීන්

වසංගත තත්ත්වයක් පවතින වකවානුවක වුවද, රාජ්‍ය නිලධාරීන් විවේචනය කිරීම මහජනතාවගේ අයිතියක් බව දිවයිනේ සියලු ජාතීන්ට අයත් මාධ්‍යවේදීන් නියෝජනය කරන මුල් පෙලේ ජනමාධ්‍ය සංවිධාන පොලිසියට සිහිපත් කර දී තිබේ.

“අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ පළකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර” නමින් පොලිස් මූලස්ථානය විසින් අප්‍රේල් පළමු වනදා නිකුත් කරන ලද නියෝගය සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන මාධ්‍ය සංවිධාන හතක් දඬුවම් පැමිණවීම මගින් නිරවද්‍ය තොරතුරු සම්පාදනය කරන පිරිසද අකර්මන්‍ය විය හැකි බවට අනතුරු අඟවා සිටී.

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් කරන “සුළු අඩුපාඩු” අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත්, එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇති බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ අනතුරු අඟවා තිබුණි.

ඒ සමගම වැරදි යයි බලධාරීන් පවසන තොරතුරු අන්තර්ජාලයේ පල කිරීමේ චෝදනාවට රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සරසවි සිසුවකු ලබන 9 දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයකු වන තරිඳු අවිශ්ක කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය ශික්ෂණ රෝහල කොරෝනා වසංගත ආසාදිත ප්‍රභූන් සඳහා පමණක් වෙන්කර ඇති බව ෆේස්බුක් ඔස්සේ පළ කිරීම නිසාය.

කොතලාවල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයන්ත බලවර්ධන සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ එම තොරතුර අසත්‍ය බවට ප්‍රතික්ෂේප කර ඇත.

ඔවුන් දෙදෙනා ජනමාධ්‍යයට කියා තිබුනේ “අවශ්‍යතාවක් මතු වුවහොත් සියළුම COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට” එම රෝහල සුදානම් බවයි.

මෙවැනි අවස්ථාවලට එරෙහි ප්‍රතික්‍රියා දැක්වීම යනු අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීම නොව “ව්‍යාජ පුවත් සහ වැරදි තොරතුරුවලට” එරෙහිව නිරවද්‍ය තොරතුරු හා සත්‍ය හැකිතාක් ජනතාවට බෙදාහැරීම බව සිය අත්දැකීම යැයි පවසන මාධ්‍ය සංවිධාන, අවධාරණය කර ඇත්තේ එමගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද ආරක්ෂා වන බවයී.

“බරපතල ව්‍යසනයකදී නිරවද්‍ය හා සත්‍ය තොරතුරු පුළුල් ලෙස බෙදාහැරීම දිරිගැන්විය යුත්තේ, එමගින් මහජනයා තුළ වර්ධනය වන දැනුවත් බව හේතුවෙන්, ව්‍යසනයට එරෙහිව කටයුතු කිරීම පහසු වන නිසාය,” යනුවෙන් මාධ්‍ය සංවිධාන 7 නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

“එබැවින් ව්‍යසනයට එරෙහිව ක්‍රියාකරන සියලු පාර්ශව මේ මොහොතේ තෝරාගත යුතු විකල්පය වනාහී නිරවද්‍ය හා විශ්වාසදායී තොරතුරු ජනගත කිරීමයි.”

දෙමළ මාධ්‍ය සංසදය (TMA), ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය(SWJA), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය(FMM), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය(SLMMF), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය(FMETU), අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය(IMA), තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය(YJA) යන සංවිධාන සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ මෙවැනි, ව්‍යසනයක් උද්ගතව පවතින අවස්ථාවක “ව්‍යාජ පුවත්” සහ “වැරදි තොරතුරු” සමාජගත වීම බරපතල හානියක් බව වගකිව යුතු මාධ්‍ය සංවිධාන ලෙස තම සංවිධානද විශ්වාස කරන බවයි.

පොලිසියෙන් මගපෙන්වීමක්

එබැවින් එවැනි තත්ත්වයක් උද්ගතවීම වළක්වාලිය යුතු අතර මේ තාක් සිය සංවිධානද තනිවම හෝ සාමූහිකව එවැනි හානිකර තොරතුරු සමාජගතවීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බවද පවසන එම සංවිධාන සමාජ මාධ්‍ය පමණක් නොව ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යත් ජාතිවාදය පතුරුවන බවද පෙන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් මගපෙන්වීමක් ලබාදෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටී.

“එසේම මෙවැනි නිවේදනයක ඉලක්කය සමාජ ජාල පරිශීලකයින් පමණක් නොවිය යුතු අතර වැඩි ප්‍රේක්ෂක බලපෑමක් සහිත රූපවාහිනී සහ අවශේෂ ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලබන වර්ගවාදී සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්ද කිසියම් මාර්ගෝපදේශ මාලාවක් ඔස්සේ ව්‍යසන වාර්තාකරණයට අදාල යහ භාවිතයට මඟ පෙන්වීම යුක්තිසහගත ය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button