සමාජ

ඒඩ්ස් කට කතාවකින් සමාජයෙන් කොන් කළ දැරියන් 06කගේ කතාව

ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දැරියන් හයදෙනෙකු ගමෙන් සහ පාසලෙන් කොන්කර දැමීමෙන් බරපතල ගැටලුවකට මුහුණ දී සිටිති.

ගලේවෙල අලුත්ගම නිරන්ගමුව පදිංචි මෙම දැරියන් හයදෙනා සමාජ අසාධාරණයකට ලක්ව සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරමින් සිටියදී දඹුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කර ඇත.

මේ දියණියන් අතරන්, පාසල් වියේ පසුවන දියණියන් තිදෙනෙකු, ඔවුන් අධ්‍යාපනය ලබන විදුහලේ ගුරුවරුන් විසින් ඉවත් කොට තිබෙන බව වාර්තාවේ. වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීමට, බස් රථයකින් ත්‍රීරෝද රථයකින්වත් ගමනක් යෑමට සහ සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි තත්ත්වය නිසා මොවුන් දැඩි මානසික පීඩනයකින් ජීවත්වේ.

මෙම දියණියන් හය දෙනා සහ එක් වැඩිමහල් දියණියකගේ (අවුරුදු 27යි) කුඩා දරුවෙකු සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා මැද කුඩා කාමරයක වෙනත් පිළිසරණක් නැතිව වාසය කරයි. ඔවුන්ගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී ළිඳකට වැටීමෙන් මියගොස් ඇතිඅතර. මව විදේශගත වී ඇත. මෙම පවුලේ දෙවැනි දියණිය මීට වසර කිහිපයකට ඉහත විදේශ රටක සේවය සඳහා ගොස් මාස නවයකට පෙර නැවත මෙරටට පැමිණ ඇත්තේ ඇයට සමේ රෝගයක් ඇතිවීම නිසාය.

එම 24 හැවිරිදි තරුණිය, තමන්ට වැළඳුනු සමේ රෝගයට ප්‍රතිකාර කරන කාලයේදී ඔවුන්ගේ මව දරුවන් ජීවත් කිරීම සඳහා ගෘහ සේවය සඳහා විදේශගතවී ඇත. පාසල් වියේ පසුවන දැරියන් අවුරුදු 14, 13 සහ අට හැවිරිදි වියේ පසුවෙති. මේ තිදෙනාම මේ වනවිට පාසලෙන් ඉවත්කොට ඇති නිසා ඉගනීමක් කරගත නොහැකිව නිවසට වී සිටියි. ඉහත සඳහන් කල සමේ රෝගය වැළඳුනු තරුණිය, එම රෝගයට ප්‍රතිකාර ගැනීම නිසා ගම පුරා පැතිර ගොස් ඇත්තේ ඇයට HIV ආසාදිත AIDS රෝගී තත්ත්වයක් ඇතිවී ඇති බවත්, අනෙකුත් සහෝදරියන් සියලු දෙනාටම එය බෝවී තිබෙන බවත් ය.

එමෙන්ම ඉහත සඳහන් කළ දරුවෙකු සිටින තරුණිය තමන්ගේ සැමියා, මෙම කටකතාව පැතිර යෑම නිසා දරුවාද දමා තමන් හැර ගිය බව පවසන්නීය.

පවුලේ දෙවැනි දියණියට වැළඳුනු සමේ රෝගයට ඇය දඹුල්ල මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබන බවත් එය සුව කර ගැනීමට හැකි සමේ රෝගයක් බවත් වෛද්‍යවරුන් පවසයි.

මෙතරම් දියුණු කාල වකවානුවක කටකතාවක් හේතුවෙන් මුළු පවුලක් අසරණ කිරීම පිළිබඳව අවධානය යොමුකර සාධාරණය ඉෂ්ට කර දෙන්නැයි ඔවුන් ඔබෙනුත් මගෙනුත් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button