සමාජ

“කඳු මැද නුවර කදුළුවල බර”

බොහෝ සුන්දර දේවල් වෙත ළඟාවීම දුෂ්කරය. ඇතැම්විට දුෂ්කරතාවය වැඩිවූ තරමින් සුන්දරත්වයේ අගයට අඩු තක්සේරුවක් හිමි වීම වැලැක්විය හැකි කාරණාවක් නොවේ.

කෑගල්ල දිස්ත්‍රික්කයෙහි ඈත කෙළවරක පිහිටි දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිගුරණ තලාව ප්‍රදේශය සුන්දරත්වයෙන් අනූන වුවද සුන්දරත්වය පරයා යන දුෂ්කර බවකින් හෙබි ප්‍රදේශයකි. දැරණියගල නූරි පාර ඔස්සේ ගමන් කරමින් පණාකුර මංසන්ධියෙන්, අංහෙට්ටිගම මංසන්දියෙන් සහ මාලිබොඩ නගරය ආසන්නයෙන් ආදී මාර්ග තුනකින් තලාව ගම්මානය වෙත ළඟාවිය හැක. ගම වෙත ගමන් කිරීම මේ වනවිට අතිශයින්ම දුෂ්කර ක්‍රියාවක් බවට පත්වී ඇති හේතුව ඉහත මාර්ග තුනෙහිම ගම්මානයට ආසන්න කොටස් ඉතාම අබලන් තත්ත්වයක පැවතීම නිසාය. ගම්වාසීන්ගේ ආර්ථිකය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආදී සියල්ල අඩාල වීමට මෙම ගමන් දුෂ්කරතාවය බලපෑමක් වී තිබේ.

මෙම දුෂ්කරතාව පිළිබඳව අදහස් දක්වන හිඟුරණ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එල්. ජී. පද්මිණී මහත්මිය,

“හාරදහක් මාර්ගයෙන් හිඟුරණට සහ මාලිබොඩ හරහා තලාවට පැමිණෙන්නට බස් දෙකක් තිබුණා. හාරදාහ මාර්ගය ඉතාම අබලන් නිසා ඒ හරහා පැමිණි බස් රථය මේ වන විට පැමිණෙන්නේ එමෙන් දෙගුණයක් පමණ දුර ගෙවා හිඟුරණ හරහා. මාලිබොඩ හරහා පැමිණෙන බස් රථය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ නැවතිලා. මේ හේතුවෙන් පාසලට ගුරුවරුන්ගේ පැමිණීම අඩාල වෙනවා. උදෑසන 8.30 ට පැමිණි බස් රථය නොපැමිණීම හේතුවෙන් ගුරුවරුන්ට නගරයේ සිට පාසලට පැමිණීමට හැකියාවක් නැහැ. ඒ වගේම සවස 1.30 ට පිටත්වී යන බස්රථය නොමැති වීම හේතුවෙන් පැමිණෙන ගුරුවරුන්ට නැවත නිවෙස් කරා ගමන් කිරීම ගැටලුවක් වී තිබෙනවා. දැරණියගල සිට ත්‍රීරෝද රථයක තලාවට පැමිණීමට රුපියල් දහසක පමණ මුදලක් අයකර ගන්නා නිසා එසේ පැමිණීමටත් ආර්ථික ශක්තියක් මෙම ගුරුවරුන්ට නැහැ. ඒ නිසාම බොහෝ ගුරුවරුන් මෙහි රාජකාරි බාරගෙන පැමිණියත් රැඳී සිටීම සිදු වන්නේ කලාතුරකින්. මේ හේතුව නිසා සිසුන්ගේ පාසලට පැමිණීමත් අඩාල වෙනවා. මේ ප්‍රදේශයේ සිට නගරයේ පාසල්වලට යන දරුවන්ට ගමන් කරන්නට පාසල් ප්‍රවාහන සේවයක් නැහැ. මාර්ගය අබලන් භාවය නිසාම බස්රථය නිතර අලුත්වැඩියා කරන්නට සිදුවන නිසා සතියට දින කිහිපයක් බස් රථය පැමිණීම ඇනහිටිනවා.”

දක්ෂතා සපිරි දරු දැරියන් රාශියක් මේ ප්‍රදේශය තුළ ජීවත් වුවද ඔවුන්ට අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් සම්පූර්ණ කර ගන්නට හැකියාවක් නොමැති වීම හේතුවෙන් රටෙහි අනාගතයට වටිනා සම්පත් බොහෝමයක් අහිමි වී යාම කණගාටුදායක ය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කර විශ්‍රාම ලද කේ. කේ. සෝමපාල මහතා මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්,

“මාර්ගය පවතින තත්ත්වය මත අප සියලු දෙනාම දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. දශකයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ මේ ගම්මානයට පැමිණෙන මාර්ග තුනම මේ ආකාරයට අබලන් වී පවතිනවා. මේ තත්ත්වය බෙහෙවින්ම අනතුරුදායකයි. තලාව ගම්මානය පිහිටා තිබෙන්නේ කඳුකර පරිසරයක් ආශ්‍රිතව. මෙම මාර්ග ප්‍රපාතාකාර කඳු බෑවුම් ඔස්සේ වැටී තිබෙන බැවින් අබලන් තත්වය අනතුරු අවදානම කිහිප ගුණයකින් වැඩිකරනවා. මේ පිළිබඳව පැවසිය යුතු බොහෝ තැන් දැනුවත් කලත් තවමත් මෙයට නිසි විසඳුමක් ලැබී නැහැ.”

තලාව ශ්‍රී ජයසිංහාරාම විහාරාධිකාරී අටබාගේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව අදහස් දක්වමින්,

“තලාවට පැමිණීමට ඇති එක් මාර්ගයක්වන පණාකූර හාරදාහ මාර්ගය වසර ගණනාවක සිට පිළිසකර කිරීමෙහි යෙදෙන බවක් පෙන්නුම් කරනවා. තැනින් තැන ඊට අවශ්‍ය කරන ගල් ගොඩවල් ගෙනත් දමා තිබෙනවා මිස එය ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නේ නැහැ. සමහර තැන්වල පස් ආදිය යොදා තාවකාලික පැලැස්තර යොදා තිබුණත් මධ්‍යම කඳුකරය ආශ්‍රිත මේ ප්‍රදේශය නිතර වර්ෂාපතනය සහිත වීම නිසා ඒවාට පැවැත්මක් නැහැ. බලධාරීන් මොන තරම් සැප වින්දත් මෙම අහිංසක දුප්පත් මිනිසුන්ගේ කටුක ජීවන ස්වභාවය අවබෝධ කර නොගැනීම ඉතාම කනගාටුදායකයි. පසුගිය කාලය පුරාම ජීවිත ගණනාවක් අවදානමට දමමින් ගම්මානයට පැමිණෙන බස් රථය ධාවනය කරන ලද පනාකූර අබලන් පාලම වෙනුවට මේ වනවිට නව පාලමක් ඉදිකර ඇති නමුත් එය ඉදිකර ඇති ස්ථානය තනිකර මඩ ගොහොරුවක් බවට පත්වී තිබීම නිසා එතැනින් ගමන් කිරීම වැසි දිනවලට ඉතාම අපහසු කාර්යයක්. මාර්ගය අබලන්ව පවතිනවාටත් වඩා එය පිළිසකර කිරීම ප්‍රමිතියකින් තොර වීම අපහසු තාවය වැඩි කරවන හේතුවක්. මේ ප්‍රදේශය අතහැරදමා ඇති ආකාරය දෙස බලන විට මේ වෙනත් රටක ප්‍රාන්තයක් ද කියා විටෙක සිතෙනවා.”

අධ්‍යාපන කටයුතු සේම සෞඛ්‍ය අඩාල වීමද ‍ප්‍රදේශවාසීන් මුහුණ දෙන තවත් ප්‍රබල ගැටළුවකි. සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කරන්නට උපතේ සිටම නිසි පරිදි වැඩීම සහ පෝෂණය අත්‍යවශ්‍ය වන නමුත් මාර්ගය අබලන් වීමේ ගැටලුව වක්‍රාකාරයෙන් දරු උපත් කෙරෙහි ද අහිතකර බලපෑම් එල්ල කර ඇති බව පන්දාහ පනාකූර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ටී. එම්. ආර්. යූ. රණසිංහ මහත්මිය සඳහන් කරන ලදී.

“පවතින මාර්ග දුෂ්කරතාවය දරු උපත් සඳහා විශාල බලපෑමක් එල්ල කරනවා. මේ මාර්ග නිතර ගමනාගමනයට භාවිතා කරන බොහෝ මවුවරුන්ට බිහිවන්නේ අඩු බර දරුවන් එම දරුවන් අනාගතයේ දී බෝනොවන රෝග සඳහා ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. රෝහලට ගමන් කිරීමට පෙර අතරමගදී දරුප්‍රසූතියෙන් සිදුවූ අවස්ථා කිහිපයක් මෑත කාලයේ වාර්තා වී තිබෙනවා. රාජකාරි දක්ෂතාවය මත ඉතා අසීරුවෙන් එන්නත්කරණය සහ සායන කටයුතු සිදු කිරීම තුළ එන්නත්කරණය නොකල එක් දරුවකු හෝ මේ කලාපය තුළ නොසිටින නමුත් එම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම එතරම් පහසු කාර්යයක් නොවෙයි.”

බස් රථයක් හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කිරීම අපහසු වන මෙම මාර්ගය භාවිතයෙන් ගමන් කරන ප්‍රජාව සඳහා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස බොහෝ අවස්ථාවල භාවිත වන්නේ ත්‍රීරෝදරථ පමණි.

දැරණියගල ත්‍රීරෝදරථ සංගමයෙහි සාමාජිකයකු වන ඒ.එම්. ප්‍රදීප් රොෂාන් විජේසේන,

“මේ ප්‍රදේශයට ලඟම නගරය දැරණියගල. කිලෝ මීටර් 12 ක පමණ දුරකින් තමයි දැරණියගල නගරය පිහිටා තිබෙන්නේ. අසනීපයක් වූ පුද්ගලයෙක් ප්‍රතිකාර ගන්නට යා යුත්තේ දැරණියගල නගරයට. මාර්ග දුෂ්කරතාවය මත සාමාන්‍යයෙන් කිලෝමීටර් 12 ක් ගමන් කරනට යන වෙලාව මෙන් තුන් හතර ගුණයක කාලයක් ගමනට වැයවෙනවා. අසනීප වූ පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයක පසු වුණා නම් ඔහු මිය යන්නට වුවත් ඒ ගතවන කාලය ප්‍රමාණවත්. මෙම ප්‍රදේශයේ ජනතාව එදා වේල සොයා ගනිමින් ජීවත්වන පිරිසක්. බොහෝ දෙනෙක් කරන්නේ තේ වගාව. ඔවුන්ට තම අවශ්‍යතා ඉටුකර ගැනීමට නගරයට යාමට ගතවන කාලය සහ මුදල විශාල පාඩුවක්. ත්‍රී රෝද රථයක් සඳහා රුපියල් දහසකට වැඩි මුදලක් අය කළත් ඇතැම් ත්‍රිරෝද රථ එම මුදලටවත් මේ මාර්ගයේ ගමන් කරන්නට කැමැත්තක් දක්වන්නෙ නැහැ. එයට හේතුව අයකරගන්නා මුදලටත් වඩා රථයට සිදුවන අලාභ හානිය වැඩිවීමයි. බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමුකරමින් මේ ගැටළුවට නිසි විසඳුම් ලබාදෙන ලෙසයි අපි සියලු දෙනාම ඉල්ලා සිටින්නේ.”

තලාව ත්‍රීරෝද රථ සංගමයේ සාමාජික සිසිර සුසන්ත මහතා,

“තලාව ප්‍රදේශය බොහොම සුන්දර පරිසරයකට උරුමකම් කියනවා. තවමත් ගැමිකම ආරක්ෂා වී තිබීම සහ මේ ප්‍රදේශය ආශ්‍රිතව දියඇලි වනාන්තර පැවතීම සංචාරක ආකර්ෂණය පවා මේ ප්‍රදේශය වෙත යොමුකර ගන්නට ඉවහල් වන සාධක. සුප්‍රසිද්ධ ඇලි හත පවතින ප්‍රදේශයට ගමන් කරන්නට තලාව හරහා හැකියාව තිබෙනවා. ශ්‍රීපාදස්ථානය වෙත යන්නටත් මේ මාර්ගය භාවිතා කරන්නට පුළුවන්. මෙය ස්වභාව සෞන්දර්යාත්මක සහ දුර්ලභ වටිනාකම් රාශියකින් යුත් ප්‍රදේශයක්. මෙම මාර්ග නිසි පරිදි සකස් කර දෙනවා නම් මේ ප්‍රදේශය තවදුරටත් සංවර්ධනයට විශාල පිටිවහලක් ලැබේවි.”

සංස්කෘතික හා විදේශීය ආකර්ශණය දිනාගත හැකි බොහෝ ස්ථාන කරා ලඟා වීමට ඇති මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විවිධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වුණත් මේ වන තෙක් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවී ඩපනවී ඇති ආකාරයක් දක්නට ඇත. කැලයට පායන සඳ එළිය දෙන්නේ කැලයට පමණි. ඒ සඳ එළිය ලෝකය කරා රැගෙන යන්නට හැකිනම් ඒ එලියෙන් තවත් බොහෝ තැන් ආලෝකමත් වනු ඇත. විවිධ හැකියාවන් රැසකින් පරිපූර්ණ ජනතාවක් වෙසෙන තලාව හිඟුරණ ප්‍රදේශයෙන් එම දස්කම් කැලෑ සඳමෙන් කැළයට පමණක් ආලෝකය දෙමින් දිනෙක වියැකී යයි. එයට හේතුව වන්නේ ලෝකයට වෙත විවර වන්නට ඔවුන්ට වන ප්‍රධානතම භෞතික සාධකයක් දැඩි දුෂ්කරතා මධ්‍යයේ පිහිටා තිබීමය. ඔවුන්ගේ ගමන ඔවුන්ට දිරියෙන් ඉදිරියට යන්නට මඟ සකස් කරදීම බලධාරීන් සතු කාර්යභාරයකි. මග හොඳට තිබේනම් යන්න දෑසත් පෙනේනම් බැදිවල නොයා සිටින්නට ඔවුන්ට හැකියාව නොලැබේවිද?


අයි.කේ ප්‍රභා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button