ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස ඉතිහාසය අලුතින් ලියයි

අයර්ලන්තය සමඟ ඉන්දියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයේදී විස්සයි විස්ස වාර්තා පොත අලුත් කරන්නට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ පසුගිය දා සමත් වුණා.

එම තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු තුනකට රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 278ක්. පිළිතරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 දැවී රැස් කරගන්න පුළුවන් වුණේ ලකුණු 194 ක් පමණයි.

ඇෆ්ගනිස්ථානය රැස් කරගත් මෙම 278/03 විස්සයි විස්ස තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණා. පෙර පැවති වාර්තාව වුණේ 2016 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව විසින් පල්ලෙකැලේ දී රැස්කරගත් 263/03 යි.

ඒ වගේම ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු හස්‍රතුල්ලා සසායි නොදැවී රැස්කරගත් ලකුණු 162 විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු රැස්කරගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි. වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ඔස්ට්‍රේලියාවේ ආරොන් ෆින්ච් විසින් පසුගිය වසරේ දී සිම්බාබ්වේට එරෙහිව හරාරේ හීදී රැස්කරගත් ලකුණු 172 යි.

මෙම ඉනිමේ දී හස්‍රතුල්ලා සසායි එල්ල කළ 6 පහර සංඛ්‍යාව 16ක්. ඒ තමයි ලෝකයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී ක්‍රීඩකයෙකු එල්ල කළ වැඩිම 6 පහර සංඛ්‍යාව.

හස්‍රතුල්ලා සසායි සහ උස්මාන් ගානි ආරම්භක කඩුල්ලට පවත්වපු ලකුණු 236 ක සම්භන්ධතාවය තමයි ලෝකයේ විස්සයි විස්ස තරගයක ඕනෑම කඩුල්ලකට පවත්වපු හොදම සබඳතාවය. මීට කලින් වාර්තාව තිබුණෙ 2016 IPL තරගාවලියේ දී ලකුණු 229 ක සබඳතාවයක් පවත්වපු ඉන්දියාවේ විරාට් කෝලිට සහ දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්ට.

මේ තරගයේ දී වාර්තාවුණ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 472 ක්. ඒ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක වාර්තා වූ තෙවන වැඩිම ලකුණු එකතුව.

තෙවන විස්සයි විස්ස තරගයත් නිමාව දකින කොට ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 29ක් දවාගෙන තිබෙනවා. ඒ තරග 10කදි. රෂීඩ් ගේ මේ වාර්තාව තමයි විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වලදි එක් කණ්ඩායමකට එරෙහිව පන්දු යවන්නෙකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව. රෂීඩ් අයර්ලන්තයට එරෙහිව සෑම පන්දු 7.5කට වරක්ම කඩුල්ලක් දවාගෙන තිබෙනවා.

කොහොම වුණත් විස්සයි විස්ස තරගාවලියේ තරග 03 ම ඉතාම පහසුවෙන් ජයගත්ත ඇෆ්ගනිස්ථානය තරගාවලිය 3-0ක් විදිහට ජයග්‍රහණය කළා. තරගාවලියේ වීරයා බවට පත්වුනේ ඇෆගනිස්ථානයේ මොහොමඩ් නාබි.

‍පළමු තරගය

කඩුලු 05 ක ජය ඇෆ්ගනිස්ථානයට

අයර්ලන්තය : 132/06 (20) ජෝජ් ඩොක්රෙල් 34*, ස්ටුවර්ට් පොයින්ටර් 31*, මොහොමඩ් නාබි 16/02

ඇෆ්ගනිස්ථානය : 136/05 (19.2) මොහොමඩ් නාබි 49*, නජිබුල්ලා සද්‍රන් 40*, බොයිඩ් රැන්කින් 39/02

දෙවන තරගය

ලකුණු 84 ක ජය ඇෆ්ගනිස්ථානයට

ඇෆ්ගනිස්ථානය : 278/03 (20) හස්‍රතුල්ලා සසායි 162*, උස්මාන් ගානි 73, බොයිඩ් රැන්කින් 35/01

අයර්ලන්තය : 194/06 (20) පෝල් ස්ටර්ලිං 91, කෙවින් ඔ’බ්‍රයන් 37, රෂීඩ් ඛාන් 25/04

තෙවන තරගය

ලකුණු 32 ක ජය ඇෆ්ගනිස්ථානයට

ඇෆ්ගනිස්ථානය : 210/07 (20) මොහොමඩ් නාබි 81, හස්‍රතුල්ලා සසායි 31, බොයිඩ් රැන්කින් 53/03

අයර්ලන්තය : 178/08 (20) කෙවින් ඔ’බ්‍රයන් 74, ඇන්ඩි බැල්බර්නි 47, රෂීඩ් ඛාන් 27/05


සුධීර අයේෂ්මන්ත බණ්ඩාර
ජනයුගය – ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග රචක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button