දේශීය

“භික්ෂූන් දේශපාලනයට පැමිණීමෙන් රටට වැඩක් වුනේ නැහැ…. ශාසනය පිරිහුණා විතරයි” – මල්වතු අස්ගිරි මහානාහිමිවරු

භික්ෂුන් දේශපාලනයට යොමුවීමෙන් මෙතෙක් රටට කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොවූවද, ඒ හේතුවෙන් මෙරට බුද්ධශාසනය, ආගම, ධර්මය මෙන්ම සඟ පරපුරද විශාල පිරිහීමකට ලක්වූ බව මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරුන් අවධාරණය කරති.

මාර්තු 12 සංවිධානයේ නියෝජිතයන් සංශෝධිත මාර්තු 12 ප්‍රකාශය පිළිබඳ මහ නාහිමිවරුන් දැනුවත් කළ අවස්ථාවේ උභය මහා විහාරයීය නාහිමි දෙපළ ඉහත අදහස් පළ කළහ.

මෙම ප්‍රකාශයට අනුව කිසියම් අපරාධ හෝ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් සිරදඬුවම් ලද පුද්ගලයන්, මද්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන්නන්, බරපතළ ආකාරයෙන් පරසරය විනාශ කරන්නන්, දේශපාලන බලය අයුතු ලෙස භාවිත කොට අගතිගාමී මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයන් හට දේශපාලන පක්ෂ මගින් නාමයෝජනා ලබානොදිය යුතුය.

එමෙන්ම සියලු ආගමික නායකයන් දේශපාලන භේදයකින් තොරව සමස්ත ජනතාවගේ ගෞරවය ලැබිය යුතු බැවින් ඔවුන්ට දේශපාලන පක්ෂ මගින් නාමයෝජනා ලබා නොදිය යුතුවේ.

දේශීය චින්තනයකින් යුත් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මනා අවබෝදයක් ඇති නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට මෙන්ම මූල්‍ය කළමනාකරණයට හැකියාව ඇති ප්‍රායෝගික පුද්ගලයන් හට නාමයෝජනා ලබාදිය යුතු බව අවධාරණය කර ඇත.

මෙහිදී අදහස් පළ කළ මල්වතු මහානායක කියා සිටියේ භික්ෂුන්ට කිසිසේත්ම දේශපාලනය නොගැළපෙන්නක් බවය. භික්ෂුන් දේශපාලන කිරීමෙන් ආගම ධර්මය මෙන්ම භික්ෂු ශාසනයේ විශාල පිරිහීමක් සිදුව ජනතා ගෞරවය හීනවී යන බවද මේ වන විට එම තත්ත්වය උදාව ඇති බවද උන්වහන්සේ පැවසීය.

මෙහිදී අනුශාසනාවක් සිදුකළ මල්වතු අනුනාහිමි දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි කියා සිටියේ හොඳින් ​ඉගෙන ගත්, දක්ෂ, මුදල් නොමැති රටට ආදරය කරන පුද්ගලයන් හට පාර්ලිමේන්තුවට හෝ වෙනත් පාලන ආයතනයකට යෑමට කිසිදු අවස්ථාවක් නොලැබෙන්නේ අද වනවිට අපරාධකාරයන්, අවස්ථාවන් අනිසි ආකාරයෙන් ලබාගන්නා බවය.

අස්ගිරි මහ නාහිමි අදහස් දක්වමින් පැවසුවේ භික්ෂුන් දේශපාලනයට පිවිසීම පිළිබඳව තමන් වහන්සේ මුලසිටම විරෝධය දැක්වූ බවය. මෙහිදී මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ 2015 වසරේ මාර්තු 12 වැනි දින පැෆරල් සංවිධානය මූලිකව මෙම ලියවිල්ල සියලු දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයන් වෙත ලබාදී ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ලබාගත් බවයි. එම ප්‍රතිඥාව ලබාදුන් ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රතිඥාව කඩකොට කටයුතු කළද ඇතැම් දේශපාලන පක්ෂ එම ප්‍රතිඥාවට සහය දැක්වූ බවද හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button