නියෝජ්‍ය පොලිස්පති නාලකගේ පරීක්ෂණ ගැන අධිකරණයෙන් නියෝගයක්
ඉකුත් යහපාලන රජය සමයේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය නිවාඩු යවනු ලැබූ, එවක ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ වත්මන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කටයුතු මාස තුනක් තුළ අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබෙනවා .
නියෝජ්‍ය පොලිස්පති විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ .
තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනමකට ලක් කොට ඉන් පසුව අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කෙරුණු බවත්,ඔහුට එරෙහිව තවදුරටත් පරීක්ෂණ කටයුතු කීපයක් සිදුවන නිසා උසස්වීම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සම්කාර නාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ජාතික පොලිස් කොමිසමට නියෝග කළේ , පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවයි.
ඉන් අනතුරුව අදාල පෙත්සම පෙබරවාරි මස 28 වැනිදා කැඳවීමට නියෝග කෙරුණා .