Facebook ලියන්නන්ට නඩු දමන පොලිසියට – උසාවියෙන් අවවාද
අන්තර්ජාලයේ සාවද්‍ය පුවත් පළ කළ බවට චෝදනා නගමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන උසාවියට ගෙන ඒමට පෙර ඔවුන් සිතා මතාම යම් වරදක් සිදු කර තිබේදැයි පළමු කොට තහවුරු කරගත යුතු බව අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විවෘත අධිකරණයේදී එම උපදේශය ලබා දී ඇත්තේ මුහුණු පොතේ යෙදු සටහනක් පදනම් කරගෙන අත්අඩංගුවට ගෙන සිටින සමාජ ක්‍රියාකාරිකයකු වන රම්සි රසික් ට විරුද්ධව දැඩි නීති යටතේ ගොනු කර ඇති පැමිණිල්ලක් අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා කැඳවන ලද අවස්ථාවේදීය.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගෙන ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත (ICCPR) යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්නන්ට ඇප ලබා දීමේ බලයක් මහේස්ත්‍රාත්වරයකු සතුව නැත.
එබැවින් එවැනි පනත්වලින් සැකකරුවන් ඉදිරිපත් කිරීමට පෙර ඔවුන් චේතනාන්විතව යම් වරදක් සිදු කර ඇති බවට සැකයක් ඇතිවන්නේද යන්න සොයා බැලීමට පූර්ණ විශ්ලේෂණයක් සිදු කළ යුතු බවටයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ.
කොරෝනා සමයේ අන්තර්ජාලය ඔස්සේ පලකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේදී පොලීසිය නීතිය අයුතු ලෙස පාවිච්චි කර ඇති බවට ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා මෙන්ම අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීන් ද ලිඛිතවම චෝදනා කර තිබේ.
හිරේ දැමීමේ පරම චේතනාව
අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හිරගත කිරීමේ ‘පරම චේතනාවෙන්ම’ ICCPR පනත යොදා ගන්නා බවට අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය පොලිසියට චෝදනා කර තිබුණි.
පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සඳහා (ICCPR) පනත යොදා ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා විසින් පොලිස් ප්‍රධානියා දෝෂ දර්ශනයට ලක් කර දින පහක් ගත වන මොහොතේ කොටුව මහේස්ත්‍රාත්වරිය රම්සි රසික් වෙනුවෙන් ඉදිරිපත් වු නීතිඥයන්ට අධිකරණයේදී දැනුම් දී ඇත්තේ සැකකරු එම පනත යටතේ ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බව සනාථ කිරීමට ප්‍රමාණවත් ලිඛිත කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සමාජ මාධ්‍ය තුළ මෙන්ම පුවත්පත් හා ජනමාධ්‍ය තුළත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි තෙබසින්ම සිය අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන රම්සි රසික් අප්‍රේල් 9 දා, රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ කෝවිඩ්19 වසංගතය තුළ පැතිර යන අන්තවාදය පරාජය කිරීමට ‘චින්තන ජිහාදයකට’ සුදානම් විය යුතු බවට යොදා තිබු සටහනක් හේතුවෙනි.
මහජන කැළඹිලි
නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්ෂක තුසිත කුමාර අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම ත්‍රස්තවාදී කණ්ඩායමක් මුලින්ම මානසිකත්වය වෙනස් කිරීමට කටයුතු කරන අතර රම්සි රාසික් ද ඇතැම් වචන භාවිත කරමින් ජාතීන් අතර අසමගියක් ඇතිවන ආකාරයෙන් සියලු දෙනාටම පෙනන ආකාරයට ‘පබ්ලික්’ පෝස්ටුවක් පළ කර ඇති බවයි.
මීට ඉහතදීත් සැකකරු ඒ ආකාරයේ පෝස්ටු පළ කර ඇතැයි කී රහස් පොලිසිය ඒවිට ලැබී ඇති ප්‍රතිචාර (කමෙන්ට්) අනුව යම් මහජන කැළඹීමක් සිදුවී ඇති බව පෙනන බව ද සඳහන් කර තිබේ.
රම්සි රසීක් වෙනුවෙන් පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ රම්සී රසීක් ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව සහ ජාතිවාදයට විරුද්ධව දිගින් දිගටම හඬ නැගූ තරුණයකු බවයි.
ඒ බව සනාථ කිරීම සඳහා රම්සී රසීක් විසින් විසින් පළ කරන ලද ලියමන් රැසක පිටපත් ද ජනාධිපති නීතීඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මුස්ලිම් විරෝධී ජාතිවාදය
රටේ මේ වෙන විට මුස්ලිම් ජාතිකයන්ට එරෙහි ජාතිවාදයක් ඇති බව නිතීඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.
රම්සි රසීක් අත්අඩංගුවට ගැනීමට හේතු වු පෝස්ටුව ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයේ ලියමනක් නොවන බව පෙන්වා දී ඇති ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් එම සම්පූර්ණ පෝස්ටුවෙන් මුස්ලිම් වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වය කරා නොගොස් සිටින ලෙසත් වචන අල්ලාගන්නේ නැතුව සම්පූර්ණ අදහස බැලිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.
රම්සි රසීක්ගේ රෝගී තත්වයක් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දුන් නීතිඥ එම්.ඒ සුමන්තිරන් එම තත්වයන් හා තමන් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගෙන ඔහුට ඇප ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ.
රම්සි රසීක් චේතනාන්විතව වරදක් සිදු කර ඇත්දැයි සොයා බලා ඔහුගේ ෆේස්බුක් ගිණුම අධීක්ෂණය කර සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළ අතර රම්සි රසීක්ගේ වෛද්‍ය වාර්තා බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියම කර තිබේ.
සැකකාර සමාජ ක්‍රියාධරයා ලබන 14 වැනි දා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.
සාවද්‍ය පුවත්, ජාතීන් අතර වෛරය ඇති කිරීමේ ප්‍රකාශ, සමාජ ජාල තුළට අන්තර්ගතයන් ලෙස එකතු කිරීම වැනි චෝදනා යටතේ කොරෝනා වසංගත සමය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පිරිස 17 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පසුගියදා පවසා තිබුණි.
නමුත් ඔවුන් 17 දෙනා කවුරුන්දැයි මේ ප්‍රසිද්ධියට පත් කර නැත.
කොරෝනා ව්‍යසනය හමුවේ බලතල වැඩි කොට තිබෙන පොලිස් හා ආරක්ෂක අංශ විසින් ප්‍රකාශනයේ නිදහසට මෙන්ම සුළු ජාතික හා ආගමික අයිතීන්ට අවහිර වන ආකාරයෙන් කටයුතු කිරීම එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වල මෙන්ම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන හා වෘත්තීය සමිති ප්‍රමුඛ සිවිල් ප්‍රජාවගේ විවේචනයට ලක්වී තිබේ.