විවිධ හේතු මත එක රැයින් ප්‍රසිද්ධියට පත්වූවන් පිළිබඳ තොරතුරු අප කොතෙකුත් අසා තිබේ.
ඇතැමෙකු ප්‍රසිද්ධිය ලැබීමට කොතෙක් උත්සහ දැරූව ද එය සාර්ථක නොවන අතර තවත් අයෙකුට නිරායාසයෙන් ම ප්‍රසිද්ධිය ලැබේ.
එලෙස නිරායාසයෙන් ප්‍රසිද්ධියට පත්වූ වයඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වෙත පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ දැඩි අවධානය යොමු විය.
ඒ, තමන් ලද උපාධියේ ගෞරවය සිය මිත්තණිය වෙත පුද කළ ‘සපත්තු නොපළන්’ උපාධිධාරියා පිළිබඳවය.
බීබීසී සිංහල සේවය ඔහු සමග කළ සංවාදයක් ඇසුරින් සකස් කළ සටහනකි, මේ.
ඔහු කවුද?
කෝෂිල ජයවික්‍රම නමැති ඔහු හොරොව්පතාන, කකුල්බැදිදිගිලිය නමැති දුෂ්කර ගම්මානයෙහි උපත ලැබූ වයඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබූ උත්සහවන්තයෙකි.
“ආර්ථික දුෂ්කරතා හේතුවෙන්” ඔහුගේ මව සෞදි අරාබියේ සේවයට ගොස් ඇත්තේ, ඔහු 12 හැවිරිදි වියේ පසුවෙද්දීය. ඇය මේ වන විට වසර 13ක් පුරා සෞදි අරාබියේ සේවය කරමින් සිටී.
කුඩා කලදී ම මවගේ උණුසුම අහිමි වූ කෝෂිලට මව් සෙනෙහස මෙන් ම රැකවරණය ද සැලසුවේ, ඔහුගේ මිත්තණියයි.
කෝෂිලගේ පියා වඩු කර්මාන්තයේ නිරතව සිටී.
“මට හොඳින් ඉගෙන ගන්න හිතුණේ අපේ නැති බැරිකම නිසා මයි. මම ඉපදුණු හොරොව්පතාන වගේ දුෂ්කර ප්‍රදේශයක හොඳ ජීවිතයක් හදා ගන්න ඉගෙන ගන්නවා ඇරෙන්න වෙන මාර්ගයක් තිබුණේ නැහැ. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න හිතුවා.”
කෝෂිල ජයවික්‍රම බීබීසී සිංහල සේවයට පැවසීය.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ගණිත විෂය ධාරාවෙන් පෙනී සිටි කෝෂිල, වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික අධ්‍යයන පීඨයට සුදුසුකම් ලැබීය.
“මම පොඩි කාලේ ඉඳන් ම ඉලෙක්ට්‍රොනික් විෂයට ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඒ නිසා මම විශ්වවිද්‍යාලෙදිත් ඒ විෂය හදාරන්න තීරණය කළා. ඒ අනුව, ඉලෙක්ට්‍රොනික්වලට අමතරව, ගණිතය, ගණිතමය ආකෘති සහ සංඛ්‍යානය ගැන ඉගෙන ගත්තා.”
“තනියම ඉගෙන ගත්තා”
සිය අධ්‍යාපනය වෙනුවෙන් මව එවන මුදල් කෙරෙහි බලා නොසිටි කෝෂිල විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතරතුර ගණිතය සහ විද්‍යාව උපකාරක පන්ති දෙකක් පවත්වා තිබිණි.
ඊට අමතරව ඔහුගේ මිතුරන් ද පැවසූ පරිදි කෝෂිල – පරිගණක විද්‍යාව, රොබෝ තාක්ෂණය, රේඩියෝ ඉන්ජිනේරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව ස්වයං අධ්‍යයනය ලබමින් ප්‍රගුණ කළේය.
ඒ අතර, ඔහු ජාවා වැනි පරිගණක භාෂා ද තනිව උගත්තේය.
“ආච්චියි අම්මයි මට දෙන්න ම එක වගේ”
“අම්මා රට ගියාට පස්සේ මාව බලාගත්තේ ආච්චි. ඒ නිසා මට අම්මයි ආච්චියි දෙන්න ම එක වගේ”
ඔහු සිය මිත්තණිය පිළිබඳව කතා කරන්නේ ඉමහත් සෙනෙහසකිනි.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඔහුගේ වඩාත් සංවේදී ඡායාරූපයක් වූයේ, සිය මිත්තණියගේ හිසට උපාධි හිස් වැස්ම පැළඳවීමේ අවස්ථාවයි.
වයඹ විශ්වවිද්‍යාලයේ ම ඉගෙනුම ලබන ප්‍රමෝද් නවීන් සහ සිතිජ දහනායක විසින් සිය කැමරාවේ සටහන් කර ගනු ලැබූ ඡායාරූප ෆේස්බුක් වෙත මුදා හැරීමෙන් පසු එය විශාල වශයෙන් ෆේස්බුක් භාවිත කරන්නන් අතර හුවමාරු වන්නට විය.
ඒ පිළිබඳව ද අපි ඔහුගෙන් විමසුවෙමු.
“මට මේ උපාධිය ලබා ගන්න ආච්චි තමයි ගොඩක් උදව් කළේ. ආච්චි කරපු ඒ කැප කිරීමට ගෞරවයක් විදිහටයි මම එහෙම කළේ”
ඔහු ඊට හේතුව පැහැදිලි කළේය.
“අහම්බෙන් ලැබුණු ප්‍රසිද්ධිය ගැන මොනව ද හිතෙන්නේ?” ඔහුගෙන් විමසුවෙමු. ඔහු දුන්නේ, අපූරු පිළිතුරකි.
“අට ලෝ දහම අනුව කාලෙන් කාලෙට දුක – සැප, නින්දා – ප්‍රශංසා අපට ලැබෙනවා. ඒ වගේ දෙයක් මට පින් අනුව ලැබුණා. ඒක මම මධ්‍යස්ථව විඳිනවා.”
අනාගත අපේක්ෂාව
මේ වන විට කෝෂිල ජයවික්‍රම කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කරයි.
ඔහු සිය වෘත්තිය පිළිබඳව බෙහෙවින් තෘප්තිමත්ය.
“ගුරු වෘත්තිය කියන්නේ පඩියක් ගන්න ගමන් පින් ලැබෙන රැකියාවක්. ඒ නිසා මම මේ රස්සාව කරන්නේ ලොකු කැමැත්තකින්.”
ඔහුට අනාගතය පිළිබඳ විශාල අපේක්ෂා නොමැත. ඔහුගේ එක ම අපේක්ෂාව සරල මෙන් ම මානුෂික එකකි.
“මට ඕන අම්මාව ලංකාවට ගෙන්වාගෙන ආච්චිවයි, අම්මවයි, තාත්තවයි ගෙදර තියාගෙන ඒ අයව බලාගන්නයි. දැන් මට ඒකට ශක්තියක් තියෙනවා කියල මම හිතනවා. අම්මා මේ පාර ගෙදර ආවට පස්සේ ආයෙත් රට යන්න දෙන්නේ නෑ.”
ඡායාරූප – ප්‍රමෝද් නවීන්